‘විසුම්පාය‘ හෝටලයක් බවට පත් කිරීමට හුනස් හෝල්ඩිංග්ස් ත්‍රෛපාර්ශ්වික එකඟතාවකට පිවිසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ((HUNA.N0000), කොළඹ 02, ලිලී මාවතේ, අංක 25 දරණ ස්ථානයේ පිහිටි රජයට අයත් දේපළක් වන විසුම්පාය ගොඩනැගිල්ල හෝටලයක් බවට සංවර්ධනය කර එය කළමනාකරණය කිරීම සඳහා රජය සමග එකඟතාවකට පිවිසි බව පවසයි.

මෙම විසුම්පාය ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට අයත් දේපළකි. ඒ අනුව හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ජාත්‍යන්තර ආගන්තුක සත්කාර හවුල්කරුවෙකු වන Azotels Hospitality Limited සමාගම සහ එහි පරිපාලිත සමාගම් හා එක්ව නාගරිග සංවර්ධන අධිකාරිය අතර මෙලෙස ත්‍රෛපාර්ශ්වික එකඟතාව වෙත පිවිසීම ඊයේ දිනයේදී නාගරික සංවර්ධන අධිකාරියේදී සිදුව තිබේ.

එහිදී ගිවිසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොංහි Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) මහතා අතර සිදුව තිබේ. Hunas Holding PLC ආයතනයේ සභාපති ධනුක සමරසිංහ මහතාද ඊට එක්ව ඇත.

ඒ අනුව විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitility limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitility limited ආයතනය, හුනාස් හෝල්ඩින් පුද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ඇත.

මෙම එකඟතාව යටතේ එම ඓතිහාසික ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එම දේපළෙහි කළමනාකාරීත්වය Azotels සමාගම විසින් සිදු කරනු ඇති බවත්, ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බවක් ඊට ලැබෙනු ඇති බවත් හුනස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

1835 අගෝස්තු 24 වන දින උතුමාණන්ගේ විලියම් රජු විසින් යටත් විජිත සමයේදී කොළඹ යුනියන් පෙදෙසේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල බොහෝ කලක් යනතුරු ලංකා රයිෆල් රෙජිමේන්තු නිලධාරීන්ගේ නේවාසිකාගාරය ලෙස භාවිත කර තිබුණි. විදේශීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වී ඇති මෙම ගොඩනැගිල්ල මුලින්ම හඳුන්වනු ලැබුවේ ඇක්ලන්ඩ් හවුස් (Acland House) වශයෙනි.

මෙය කොළඹ නගරය මැද පිහිටි පෞරාණික වටිනාකමකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසද හැඳින්විය හැක. යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.

මේ අතර මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ ද වෙති. සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් ආදී අමාත්‍යවරුන් වරින් වර මෙම සුවිසල් ගොඩනැගිල්ල එසේ නිල නිවාසය වශයෙන් තෝරාගෙන තිබිණි.

විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. මේ නිසාම බොහෝ රාජ්‍ය තාන්ත්‍රික නායකයන්ගේ තාවකාලික නවාතැන්පොළ ලෙසද මෙම ඇක්ලන්ඩ් හවුස් ගොඩනැගිල්ල භාවිත විය. ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.

විසුම්පාය ගොඩනැගිල්ලේ සුවිශේෂී නිමැවුමට කිසිදු හානියක් සිදු නොවන අයුරින් මෙය සංවර්ධනය කෙරේ. එහිදී විසුම්පායේ ගෙමිදුලේ ඇති විශාල ඉඩකඩ එළිමහන් ප්‍රසංග සඳහාත් විවාහ උත්සව සඳහාත් වෙන් කෙරෙනු ඇත.

Visits: 210