UB Finance Limited මූලික මහජන කොටස් නිකුතුව ජූලි 20 දා

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ බලපත්‍රය සහිත මූල්‍ය සමාගමක් වන UB Finance Limited සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා වන මූලික මහජන කොටස් නිකුතුව (IPO) ලබන ජූලි 20 වැනිදා විවෘත කරන බව පවසයි.

මෙහිදී UB Finance Limited සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව ලෙස සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,000,000ක් නිකුත් කිරීමට සූදානමින් සිටියි.

එහිදී කොටසක වටිනාකම රුපියල් 1ක් ලෙස මිල කෙරීඇති අතර, සමස්ත මූලික මහජන කොටස් නිකුතුවෙහි වටිනාකම රුපියල් මිලියන 55කි.

මෙම නිකුතුවත් සමගින්ම එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි දිරි සවි පුවරුවෙහි ලැයිස්තුගත කෙරෙනු ඇති බවත් සමාගම පවසයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස NDB Investment Bank Limited සමාගම කටයුතු කරයි.

UB Finance Limited සමාගම මහබැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුව (යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී) පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගමකි. යුනියන් බැංකුව සහ එහි ජාත්‍යන්තර උපායමාර්ගික ආයෝජන හවුල්කරුවා වන ShoreCap II Ltd. සමාගම එක්ව UB Finance Limited සමාගම පිහිටුවා තිබේ.

වර්තමානයේදී UB Finance Limited සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ අතුල් මලික් (සභාපති), සබ්රි ඝවුස් (විධායක නොවන අධ්‍යක්ෂ), මයිකල් ජේ. ඔහාන්ලොන් (විධායක නොවන අධ්‍යක්ෂ), ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ (විධායක නොවන අධ්‍යක්ෂ)‍, ලිසා තෝමස් (විධායක නොවන අධ්‍යක්ෂිකා), මොහාන් බාලේන්ද්‍ර (විධායක නොවන අධ්‍යක්ෂ), ජයේන්ද්‍ර සෙතුකවලාර් (විධායක නොවන අධ්‍යක්ෂ) සහ රන්සිත් කරුණාරත්න (ප්‍රධාන විධායක නිලධාරී) යන මහත්ම මහත්මීන්ය.

UB Finance Limited සමාගමේ මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

Visits: 250