ගලධාරි හෝටලයේ කළමනාකාරීත්වය Radisson Hotels යටතට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ගලධාරි හෝටලයේ (ගලධාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී) (GHLL.N0000) කළමනාකාරීත්වය සම්බන්ධයෙන් රැඩිසන් හොටේල්ස් ඒෂියා පැසිපික් ඉන්වෙස්ට්මන්ට් සමාගම (Radisson) හා එකඟතාවකට පැමිණීමක් සිදුව ඇතැයි එම සමාගම පවසයි.

ඊයේ (06දා) පැවැති ගලධාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගමෙහි අතිවිශේෂිත මහා සභා රැස්වීමේදී මේ පිළිබඳ වන විශේෂිත යෝජනාව වෙනුවෙන් කොටස්හිමිකරුවන් සිය අනුමැතිය ලබාදුන් බවත් සමාගම සඳහන් කරයි.

රැඩිසන් හොටේල්ස් ඒෂියා පැසිපික් ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම ලොව ජනප්‍රිය බහුජාතික ආගන්තුක සත්කාර සමාගමක් ලෙස ප්‍රකට සමාගමකි. 2023 මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම එකඟතාවට පිවිසීම සිදුව තිබේ.

මෙම එකඟතාවට අනුව හෝටල් සංවර්ධන සේවා එකඟාව (HDSA) සහ හෝටල් කළමනාකරණ එකඟතාව (HMA) යනාදී එකඟතාවන් පවතින බව ගලධාරි හෝටලය පවසයි.

එසේම මෙම එකඟතාවට අනුව ඉදිරියේදී කොළඹ ගලධාරි හෝලටය අලුත්වැඩියාවට ලක් කෙරෙනු ඇති බවත්, එහිදී හෝටලයේ කළමානාරීත්වය RADISSON BLU HOTEL GALADAI COLOMBO යන නමින්  Radisson සමාගම මගින් සිදු කරනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

2023 මාර්තු 31 වැනිදා වනවිට ගලධාරි හොටේල් (ලංකා) පීඑල්සී සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන්නේ ගලධාරි බ්‍රදර්ස් කම්පැනි සමාගමයි. එය කොටස් 318,395,504ක් වන අතර එය සමස්ත කොටස් අතරින් 63.57%ක ප්‍රතිශතයකි. එසේම අයිස්බර්ග් 2 ලිමිටඩ් සමාගම වෙත සහ සේවක අර්ධසාධක අරමුදල වෙත පිළිවෙලින් කොටස් 29,510,817ක් සහ 23,712,200ක් හිමිව තිබේ. එය පිළිවෙලින් 5.89%ක සහ 4.73%ක ප්‍රතිශතයකි.

ගලධාරි හෝටලය කොළඹ නගරයේ පිහිට වූ පළමු තරුපන්තියේ හෝටල් කිහිපය අතරට අයත් වෙයි.

Visits: 184