ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඉන්දියානු ණය සඳහා වසර 12ක ආපසු ගෙවීමේ කාලයක් ලබාදීමේ ඉඩක්?

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව වෙත ගෙවිය යුතුව ඇති ණය සඳහා වසර 12ක කාලයක් ලබාදීමේ ඉඩක් පවතින බව වාර්තා වෙයි.

ඉන්දියාවේ අපනයන ණය සහතිකකිරීමේ සංස්ථාවේ (ECGC) සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ එම්. සෙන්තිල්නාදන් මහතා පසුගියදා එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

අද වනවිට ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණයකරුවන් වෙත ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ගෙවීමට නියමිතව ඇති අතර,  ඉන් ඩොලර් බිලියන 3ක ණයක් චීනය වෙතත්, ඩොලර් බිලියන 2.4ක් පැරිස් සමාජය වෙතත්, ඩොලර් බිලියන 1.6ක්  ඉන්දියාව වෙතත් ගෙවීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සෙන්තිල්නාදන් මහතා, “ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවන් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා. මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ණය පැකේජය ලැබුණාට පස්සේ අපි යම් කාලයක් ඇතුළතදී අපගේ ණය ආපසු අය කරගැනීමක් සිදු කරනවා. අපි එතැනදී වසර 3-4ත් කාලයකදී එය සිදු කිරීමට සැලසුම් කරත්, එය වසර 10-12 දක්වා දිගුවීමේ අවස්ථාවක් පවතිනවා.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර අපනයන ණය සහතිකකිරීමේ සංස්ථාවේ කළමනාකරණය යටතේ පවතින ජාතික අපනයන රක්ෂණ ගිණුම වෙත දැනමත් අපනයනකරුවන්ගෙන් ඉන්දියානු රුපියල් කෝටි 4,500ක් පමණ වන රක්ෂණ හිමිකම් පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයිද ඔහු පවසා තිබේ.

එහිදී ශ්‍රී ලංකාව, සැම්බියාව, සුරිනාමේ සහ ඝානාව ඇතුළුව කොවිඩ්-19 වසංගතයෙන් සහ යුක්රේන යුද්ධයෙන් දැඩි අර්බුදයට ලක්වූ රාජ්‍යයන් වෙත භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන් බවත් පැවසෙයි.

කෙසේ වෙතත් මේ අතරින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය අද වනවිට යථාවත් වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ආසන්නතම අවස්ථාවේදී ශ්‍රී ලංකා අයිතම 286ක ආනයන තහනම් ලිහිල් කර තිබේ. ආර්ථික අර්බුදය අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය අයිතම 3,200කට වැඩි සංඛ්‍යාවක් වෙත මෙම ආනයන තහනම පනවා තිබේ.

මේ අතර ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබූ ඩොලර් බිලියන 1ක ණය පහසුකම තවත් වසරකින් දීර්ඝ කිරීමටද ඉන්දියානු බලධාරීන් පසුගියදා කටයුතු යෙදීය.

මෙම ණය පහසුකම පසුගිය වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී ඉන්දියාව ලබාදුන් ඩොලර් බිලියන 4ක හදිසි ආධාරය යටතේ ක්‍රියාත්මක වූවකි. එය මේ වසරේ මාර්තු මාසයේදී අවසන්වීමට නියමිතව තිබුණත්, තවත් වසරකට එය මෙලෙස දිගු කර තිබේ.

Views: 62