නෙස්ලේ ලංකා පීඑල්සී කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්වීමට කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය හිමි වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම (NEST.N0000) එම ලැයිස්තුගතවීමෙන් ඉවත් කිරීම සඳහා එම සමාගමෙහි කොටස් හිමිකරුවන් අනුමැතිය ලබාදී ඇතැයි වාර්තාවෙයි.

පසුගිය ජූනි 30 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ මිහිලක මැදුරේදී පැවැත්වුණු එම සමාගමෙහි අවසන් වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම අවස්ථාව සඳහා සහභාගි වූ කොටස් හිමිකරුවන්ගෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් මේ යෝජනාව සඳහා අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා පවසයි.

මෙලෙස නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත්වීම සම්බන්ධයෙන් නිවේදනය කෙරුණේ පසුගිය මැයි මාසයේදීය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ සිදු කරන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ සිය මූලික ව්‍යාපරික ක්‍රියාකාරකම් වෙත අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම සමාගම එහිදී පවසා තිබුණි.

කෙසේ වෙතත් මෙම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ යෝජනාව සම්බන්ධයෙන් එම සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව තිබුණි.

1906 වසරේදී පිහිටවුණු නෙස්ලේ ලංකා සමාගම අද වනවිට මෙරට තුළ වසර 115කට අධික කාලයක් සිය මෙහෙයුම් සිදු කරයි. එහිදී දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික පවුල් වෙත ජීවනෝපාය සකස් කරගැනීම සඳහා නෙස්ලේ ලංකා සමාගම දායකත්වය ලබාදී ඇතැයිද පවසයි.

අද වනවිට නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ Nestle S.A. සමාගමටයි. එය කොටස් 49,400,234ක් වන අතර එය 91.95%ක ප්‍රතිශතයකි. දෙවැනියට වැඩිම කොටස් හිමිකරුවා වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවන රක්ෂණ අරමුදලයි. එය කොටස් 264,404 ක් වන අතර 0.49%ක ප්‍රතිශතයකි. මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල වෙතත් කොටස් ලක්ෂයක් හිමි අතර එය 0.19%ක ප්‍රතිශතයකි.

Visits: 262