මේ වසරේදී ඩොලර් බිලියන 1.3ක ඍජු විදේශ ආයෝජන අපේක්ෂාවක්

2023 වසරේදී මෙරට වෙත ගලා එන ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3ක් දක්වා වර්ධනයවීමක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඊයේ දිනයේදී රොයිටර් පුවත් සේවය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් මේ බව පවසා තිබේ. එම මණ්ඩලයේ වාර්තාවලට අනුව පසුගිය වසරේදී මෙරටට හිමි වූ ඍජු විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 1.08 කි.

මෙහිදී වසර තුළ ඉහළ යන ඍජු විදේශ ආයෝජන සඳහා මූලිකවම ඉන්දියාව හේතුවනු ඇතැයි අපේක්ෂාව වී තිබේ. පසුගිය වසරේදී ඉන්දියාවේ අදානි සමූහය මෙරට තුළ සුළං විදුලි බලාගාර දෙකක් සදහා වන ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් සිදු කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන ආකාරයට මේ වසරේ පළමු කාර්තුව තුළදී පමණක් ඩොලර් මිලියන 600ක් පමණ වටිනා යෝජනා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලැබී තිබේ. ඒ අතරින් 22ක් නව ව්‍යාපෘති සඳහා වන අතර තවත් හයක් ව්‍යාපෘති පුළුල් කිරීම් සඳහා වෙයි.

මෙහිදී තොරතුරු තාක්ෂණය, සූර්ය සහ සුළං විදුලි බලාගාර, ඉන්ධන පිරවීම, ඛනිජ සැකසුම යනාදී ක්ෂේත්‍ර වෙත ආයෝජන ආකර්ෂණය වනු ඇතැයි ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ.

මේ යටතේ දැනටමත් ඉන්දියාවේ MCS සමූහය ඛනිජ සැකසුම් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන 20ක ආයෝජන එකඟතාවකටපත්ව ඇත. මෙය වසර තුළදී මෙතෙක් හිමි වූ විශාලතම ඍජු විදේශ ආයෝජනය ලෙසින්ද සැලකෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී පවසා ඇත.

“මීට අමතරව ජපානය වගේම චීනයත් ලංකාවේ ඛනිජ සම්පත් පිළිබඳව හොඳ කැමැත්තකින් සිටිනවා. මේ අමුද්‍රව්‍ය තමයි අපිට නව ආයෝජන ගෙන්වා ගන්න තියෙන හොඳම අවස්ථාව.” යනුවෙන්ද ඇය සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සතුව ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි මෙතෙක් මතුකර නොගත් ග්‍රැෆයිට්, පොස්පේට් සහ අනෙකුත් ඛනිජද්‍රව්‍ය රැසක් පවතින බවත්, නමුත් ඒ සඳහා දැනට පවතින ප්‍රතිපත්ති ක්‍රියාරාමුව යාවත්කාලීන විය යුතු බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

Views: 67