ලංකා හොස්පිටල්ස් වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගම (LHCL.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් ලෙස මෙම ලාභාංශ ගෙවන බව සමාගම සඳහන් කර සිටියි.

මෙය 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීමද වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 28 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අප්‍රේල් 04 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමගාම වැඩිදුරටත් පවසයි.

2022 දෙසැම්බර් 31 වැනිදා වන විට ලංකා හොස්පිටල්ස් පීඑල්සීහි වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ ෆෝර්ටිස් හෙල්ත්කෙයාර් ඉන්ටර්නැෂනල් සමාගම වෙතයි. එය 64,120,915ක් එනම් 28.66%ක ප්‍රතිශතයකි. 

එසේම දෙවැනි සහ තෙවැනි කොටස්හිමිකරුවන් ලෙස ලංකා රක්ෂණ සංස්ථාව කටයුතු කරන අතර, ඉන් එම සමාගමෙහි ජීවිත රක්ෂණ අරමුදල සතුව කොටස් 58,781,308ක් (26.27%ක්) සහ සාමාන්‍ය රක්ෂණ අරමුදල සතුව කොටස් 56,080,643ක් (25.07%ක්) පවතී.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 125.00ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව ශත 50ක එනම් 0.40%ක පහත වැටිමකි.

කෙසේ වෙතත් ලංකා හොස්පිටල්ස් පීඑල්සී සමාගම සතු රජයේ හිමිකාරීත්වය අලෙවි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරුණු පසුගියදා සිට මෙම කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් සිදු විය.

Visits: 201