පෙබරවාරි මාසයේදී අපනයන ආදායමේ 8.06%ක පසුබැසීමක් – ඇගලුම් ආදායම් අඩුවෙයි

2023 වසරේ පෙබරවාරි මාසයේදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,005.20ක් ලෙස සටහන්ව ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ඒ අනුව මෙය 2022 වසරේ පෙබරවාරි මාසයේදී  ලැබූ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1093.30 ට සාපේක්ෂව 8.06%ක අඩු වීමකි.

කෙසේ වෙතත්, එය 2021 පෙබරවාරි මාසයයේදී ලබාගත් ඩොලර් මිලියන 951කට සාපේක්ෂව සාපේක්ෂව 5.62% ක වැඩිවීමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ශ්‍රි ලංකා මහ බැංකුව සහ ශ්‍රි ලංකා රේගුව මගින් ලබාගත් දත්ත අනුව පෙබරවාරි මාසය සඳහා වන අපනයන කාර්ය සාධන දත්ත ඉදිරිපත් කරමින් එම මණ්ඩලය මේ බව පවසා සිටියි.

එම දත්ත අනුව පෙබරවාරි මාසයේදී ඇගලුම් හා රෙදිපිළි ආදායම ඩොලර් මිලියන 483.35ක් ලෙස සටහන්ව ඇත. එය පෙර වසරේ එම මාසයේදී හිමි වූ එම ආදායම වූ ඩොලර් මිලියන 494.82 හා සැසඳීමේදී 2.32%ක අඩුවීමකි.

එසේම රබර් ආශ්‍රිත සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායමද පිළිවෙලින් 17.81%කින් සහ 19.74%කින් පහත වැටී තිබේ. කෙසේ වෙතත් පෙබරවාරි මාසයේදී තේ අපනයන ආදායම ඩොලර් මිලියන 104.57ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසර හා සැසඳීමේදී 3.68%ක වර්ධනයකි.

ජනවාරි මාසය මෙන් පෙබරවාරි මාසයේදීද මෙරට මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. එසේම කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදනත්, විසිතුරු මසුන්, එළවලු සහ පළතුරු මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනයේ ආදායම්ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

Visits: 87