D.R. Investment වසරකට පෙර රු. 50.00කට විකුණූ අගලවත්ත ප්ලාන්ටේෂන්ස් කොටස් යළිත් රු. 35.00කට මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී(AGAL.N0000)සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් දෙදෙනා වන D.R. Investment සහ D.R. Industries යනසමාගම අතර ඊයේ දිනයේදී එම සමාගමෙහි කොටස් මිලියන 45,312,500ක හුවමාරුවක් සිදුවිය.

මෙහිදී කොටසක් රුපියල් 35ක් බැගින් ගනුදෙනුව සිදු වූ අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.5ක් (1,585,937,500ක්) ලෙස සටහන්ව තිබේ.

අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා වන D.R. Industries සමාගම මගින් එම කොටස් ප්‍රමාණය අලෙවි කර තිබේ.

ඒ අතරින් කොටස් 34,375,000ක් මිලදී ගැනීමට D.R. Investmentසමාගම කටයුතු යොදා ඇති අතර, ඉතිරි කොටස් 10,937,500 මරිනෝ බීච් (පෞද්) සමාගම මගින් මිලදී ගෙන තිබේ.

මෙම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමූහයක් වන දම්රෝ සමාගමට අයත් වැවිලි සමාගමකි.

එසේම මෙම D.R. Investment සහ D.R. Industries යන සමාගම් දෙකම දම්රෝ සමාගමේ නිර්මාතෘවරයා සහ හිමිකරුවා වන දමිත රාමනායක මහතාට අයත් සමාගම් වෙයි.

මීට අමතරව මරීනෝ බීච් (පෞද්) සමාගමත් දම්රෝ සමාගමේ පරිපාලිත සමාගමකි. එම සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් හි කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගත් පළමු අවස්ථාවද මෙය වෙයි. ඒ අනුව එම සමාගම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හා තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවටද පත්ව තිබේ.

ඊයේ දිනයේදී D.R. Investment සහ මරිනෝ බීච් යන සමාගම්D.R. Industries වෙතින් මිලදී ගත් මෙම කොටස් ප්‍රමාණය, පසුගිය 2022 වසරේ මාර්තු 22 වැනිදා D.R. Investment සමාගම මගින්D.R. Industries වෙත අලෙවි කළ කොටස් 45,312,500 ද වෙයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ මාර්තු 22 වැනිදා මෙම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී අගලවත්ත ප්ලාන්ටේෂන්ස් කොටසක් සඳහා රුපියල් 50ක් ලෙස එම මිලදී ගැනීම සිදු වූ අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 2.2ක් (2,265,625,000ක්) ලෙස සටහන් විය.

මේ අතර ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමරුවෙහි ගනුදෙනු අවසානයේදී අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 31.90ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 31.50ට සාපේක්ෂව ශත 40ක එනම් 1.27%ක ඉහළ යාමකි.

Visits: 886