හේලීස් පීඑල්සී වෙතින් කොටසකට රුපියල් 5.35ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම (HAYL.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඊයේ දිනයේදී රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය කර තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 5.35ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022/2023 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බව සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස අප්‍රේල් 10 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මාර්තු 24 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

හේලීස් පීඑල්සී සමාගම පසුගිය වසරේ මාර්තු මාසයේදීද 2021/22 වසරේ පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස රුපියල් 4ක මුදලක් ගෙවා තිබුණි.

හේලීස් පීඑල්සී සමාගම මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් සමාගමකි.

මේ අතර හේලීස් සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත තවත් සමාගම් හතක්ද සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී (ශත 60ක්), හේලීස් ෆැබ්රික් පීඑල්සී (ශත  30ක්), හේකාර්බ් පීඑල්සී (රුපියල් 1ක්), හේලීස් ෆයිබර් පීඑල්සී (ශත 50ක්) මෙන්ම තලවාකැලේ ටී එස්ටේට් පීඑල්සී (රුපියල් 6ක්) සහ කැලනිවැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (රුපියල් 3ක්) ලෙස මෙම ලාභාංශ ගෙවීම් නිවේදනය කර තිබේ.

ඊයේ දිනයේදී මෙම ලැයිස්තුගත සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල හමුවලින් පසුව ගනු ලැබූ තීරණයකට අනුව මෙලෙස එම සමාගම් මගින් නිකුත් කළ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ලාභාංශ ගෙවීම තීරණය කර ඇත.

මෙම කිසිදු ලාභාංශ ගෙවීමක් සම්බන්ධයෙන් කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් එම සමාගම් සඳහන් කර තිබේ.

Visits: 186