ලංකා බැංකු අතහිතෙන් සෙනාරෝ මෝටර් කම්පැනි නිපදවූ පළමු යතුරු පැදි ජනපතිට භාර දෙයි

යක්කල ප්‍රදේශයේ පිහිටි සෙනාරෝ මෝටර් කම්පැනි සමාගම මගින් නිෂ්පාදනය කළ පළමු යතුරු පැදිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම ඊයේ සිදු විය.

ඒ අනුව සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන වඩුගේ මහතා විසින් ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීම සිදු කර තිබේ.

රුපියල් බිලියන 1.5ක මුදල් ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් තුළ මෙම යතුරු පැදි නිෂ්පාදනය සිදු කෙරේ. මෙම ආයෝජනය සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලංකා බැංකුව මගින් ලබා දී තිබේ.

එම බැංකුව විසින් ක්‍රියාත්මක කරන දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගාසිටුවමින් අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වීමේ අවස්ථාවක් ලෙස මෙම දායකත්වය ලබාදී තිබේ.  

මෙම කර්මාන්තශාලාව තුළින් මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරයි.

එම අගය එකතුකිරීම ඉතා ඉක්මණින් 50% දක්වා ඉහළ නංවා ගැනීම සමාගමේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීම ද සිදු වෙයි.

විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු රෝහණ කුමාර, සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මොහාන් සෝමචන්ද්‍ර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 129