“ශ්‍රී ලංකා තනි වී නැහැ, අප නිරතුරුවම ඔබ සමඟ සිටිනවා” – පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්

ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරි තත්ත්වයකට පත්ව සිටියද කිසිඳු අවස්ථාවක තනි වී නොමැති බවත්, පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමග සිටින බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පවසයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ සිටි සෙන්ටර්හි පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි. ශ්‍රී ලංකා රජෙය් ආරාධනාවකට අනුව ඇය 75 වැනි නිදහස් දින සැමරුම සඳහා මෙරට වෙත පැමිණ සිටියි.

“බහු අර්බුද යුගයක පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබිණි. එහිදී අදහස් දක්වා ඇති පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය, “අද ශ්‍රි ලංකාව මුහුණ දී සිටින පීඩාකාරි තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් මා තුළ තිබෙනවා. එම පීඩාකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට දරා ගැනීම අසිරු බව ද මම දන්නවා. එම තත්ත්වය හමුවේ යම් අස්ථාවර භාවයක් සහ හුදකලා බවක් සමග යම්කිසි බියක් ශ්‍රී ලාංකිය ජනතාව තුළ උද්ගතව ඇති බව ද මම දන්නවා. එහෙත් ඔබ කිසිවිටක තනි වී නැහැ. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල පවුලේ සාමාජිකයෙකු බව අමතක නොකළ යුතු බව මම සඳහන් කිරීමට කැමතියි.” යනුවෙන් පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහලේකමවරිය, “පොදුරාජ්‍ය මණ්ඩලයේ අපි සියලුදෙනා එක පවුලක සාමාජිකයන් ලෙස එකිනෙකා කෙරෙහි වගකීමකින් බැඳි සිටිනවා. එම වගකීම සහ අප අතර ඇති බැඳීම නිසා අභියෝග හමුවේ කිසිවෙකුට තනිවීමට ඉඩ තබන්නේ නැහැ. පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල මෙන්ම ලෝකය පුරා මම සංචාරය කරනවා. එම රටවල් මුහුණදී සිටින අභියෝග වෙනස් වුවද ඒ සියලුදෙනා සමාන පීඩනයකට මුහුණ දී සිටිනවා.”යනුවෙන් සඳහන් කර තිබේ.

එසේම අප සියලුදෙනාම විවිධ අභියෝග හේතුවෙන් එකම අර්බුදයක පැටලි සිටින බවත්, අද අප සියලුදෙනා ජීවත්වන්නේ කොවිඩ් 19 ව්‍යසනයෙන් පසුව පැන නැගුණු සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටළු සමග බවත් ඇය අවධාරණය කර ඇත. ඒ අනුව අප සියලුදෙනා එක්ව මෙම අභියෝග ජයගත යුතුව ඇතැයිද ඇය පෙන්වා දී තිබේ.

Views: 48