කොළඹ වරාය නගරයේ කලම්බු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් හි ඉදිකිරීම් 2023 දෙවැනි කාර්තුවේදී ඇරඹීමේ සැලසුමක්

කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කලාපය (PCCSEZ – The Port City Colombo Special Economic Zone) තුළ පිහිටුවෙන සුවිශේෂී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන කලම්බු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් (CIFC – Colombo International Financial Centre) හෙවත් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ලබන 2023 වසරේ දෙවැනි කාර්තුවේදී පමණ ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි කොළඹ වරාය නගරය පවසයි.

ඊයේ (11දා) පළ කෙරුණු ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක් තුළ ප්‍රසිද්ධියට පත් කෙරුණු දැන්වීමක් හරහා කොළඹ වරාය නගරය මේ බව අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන නියාමන කටයුතු සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබීමත් සමගින්ම එම ඉදිකිරීම් ඇරඹෙනු ඇතැයිද සමාගම පවසයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය, එහි ආයෝජන හස්තය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරිං කෝපරේෂන් සමාගම එක්ව මෙම කලම්බු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදු කරයි. මේ සඳහා වන එකඟතාවට අත්සන් තැබීම 2020 දෙසැම්බර් 17 වැනිදා සිදුවිය.

මෙහිදී අදාළ කලම්බු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 500කට අධික වන බව පැවසෙයි.

2027 වසරේදී මෙහෙයුම් ආරම්භ කිරිමට නියමිත මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය තුළ කාර්යාල සංකීර්ණයන්ට අමතරව ජාත්‍යන්තරව පිළිගත් සෞඛ්‍ය සේවා ස්ථාන, අධ්‍යාපනික පහසුකම් මෙන්ම ආපනශාලා, විනෝදාස්වාද මධ්‍යස්ථාන සහ ආගන්තුකසත්කාර ස්ථාන මෙන්ම මරිනා වරාය සහ වෙරළඅභිමුව අවස්ථාවන්ද පිරිනැමෙන බවත් සඳහන් වෙයි.

මෙලෙස ඉදි කෙරෙන කලම්බු ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් හෙවත් කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය වඩාත් නවීනතම, සුහුරු සහ සුවිශේෂී ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවටපත්වෙනු ඇතැයි කොළඹ වරාය නගරය පවසයි.

මෙහිදී මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් එක්සත් ජනපදයේ පිහිටි සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පී සමාගමක් වන Skidmore Owings and Merrill (SOM) සමාගම මගින් සිදු කරනු ඇති බවත් සඳහන් වෙයි.

අක්කර 7.5ක් පුරා වන මෙම ව්‍යාපෘතිය තුළ සුඛෝපභෝගී නිවාස, A-කාණ්ඩයේ කාර්යාල, ඉහළ පෙළේ සිල්ලර අලෙවි සැල්, තීරු බදු රහිත අලෙවිසැල් සහ සේවා නිවස්න යනාදියද පවතිනු ඇතැයි පැවසෙයි. මෙහිදී තිරසාර සංවර්ධන ගොඩනැගිලි ක්‍රමවේදයෙන් යොදා ගනිමින් සියලුම ඉදිකිරීම් සිදු කිරිමත් සැලසුම වී තිබේ.

මේ අතරින් කාර්යාල වෙත ලබා දෙන පහසුකම් අතර, ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල සම්බන්ධතාව, අධිවේගී උත්තෝලක, වාහන නවාතැන් පහසුකම්, සුවිශේෂී ගොඩනැගිලි කළමනාකරණ පද්ධති, නවීනතම ආරක්ෂක පද්ධති, ජාත්‍යන්තර සෞඛ්‍ය සහ ආරක්ෂක ක්‍රමවේද සහ යහපත් ක්‍රියාපටිපාටීන් වෙත අනුකූල වීම සහ 100෴ක බලශක්ති සැපයුම යනාදියද පවතී.

මෙම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය තුළ පිහිටුවෙන ව්‍යාපාර සඳහා ලැබෙන පහසුකම් අතර, වඩාත් පහසුවෙන් පිහිටුවීමේ හැකියාව, විදේශ මුදල් ඒකක හරහා ගනුදෙනු කිරීමේ නිදහස, ලාභය සහ ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම නැවත සිය රට රැගෙන යාමේ හැකියාව, 100%ක විදේශ හිමිකාරීත්වය, ආයෝජන සුරක්ෂිතභාවය මෙන්ම උපායමාර්ගික අවශ්‍යතාව අනුව වසර 40ක් සඳහා වන මූල්‍ය දිරිදීමනා යනාදිය පවතී.

එසේම මෙම ව්‍යාපාරවල සේවය කරන සේවයකයන් සඳහන් බදු සහ සේවක ආදායම් බදු අය කිරිම 0෴ක් වීම, නේවාසික නොවන පිරිස් සඳහා කිසිදු බාදාවකින් තොරව රැකියා කිරීමේ අවස්ථාව සහ රැකියා බලපත්‍ර සහ අයෝජක වීසා සඳහා අනුමැතිය ලබාදීම, විදේශ මුදල් ඒකක හරහා වැටුප් ලබා ගැනීමේ හැකියාව යනාදිය පවතී.

මීට අමතරව මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන් වෙත නොමිලේම එහි හිමිකාරීත්වය හිමිවීම, වසර 10ක කාලයක් යන තුරු බිරිඳට හෝ සැමියාට හෝ පවුල වෙත නේවාසික ආයෝජන වීසා හිමිවීම, කිසිදු දේපළ හෝ වත්කම් බද්දක් අය නොකිරීම, සිය දේපළ විදේශ මුදල් වටිනාකම් සඳහා කුලියට දීම හෝ අලෙවි කිරීමේ අවස්ථාව ද ඒ අතර පවතී.

ඒ අනුව මෙහිදී මූල්‍ය සේවා, නාවික සහ ලොජිස්ටික් සේවා, වෘත්තීමය සේවා, තොරතුරු තාක්ෂණික සේවාවන්, සමාගම් මූලස්ථාන සහ කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම යන අංශ සඳහා මෙම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ ඉඩක් වෙන් කරවා ගත හැකි බව කොළඹ වරාය නගරය පවසයි.

Visits: 43