2023 අය වැය යෝජනා ජනපති අතින් අද පාර්ලිමේන්තුවට

2023 වසර සඳහා වන මීළග අය වැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන් මෙම අයවැය යෝජනා සකස් කෙරී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

විශේෂයෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර, සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙන බවත් සඳහන් වෙයි.

මේ අතර සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි වැඩිදුරටත් පැවසෙයි.

2023 අය වැය යෝජනා ඔස්සේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අරඹමින් තරුණ තරුණියන්ට යහපත් රටකට අවශ්‍ය අලුත් වැඩපිළි‍වෙළක් නිර්මාණය කිරිමට නියමිත බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

Views: 52