සෙලාන් බැංකුව ‘ඇල්බට් අංකල්’ යළි කරළියට ගෙනෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට් අංකල්’ චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.

දශක දෙකකට පෙර මුලින්ම විකාශය වූ මේ වෙළඳ දැන්වීම, ලන්ඩනයේ සිට මෙරටට මුදල් එවීමේ සිද්ධියක් පාදක කරගත් නිර්මාණයකි. විවාහ මංගලෝත්සවයකදී මුද්දක් නැතිවීම හේතුවෙන් අලුත් මුද්දක් මිලදී ගැනීම සඳහා ලන්ඩන් නුවර වෙසෙන ඇල්බට් අංකල්, ශ්‍රී ලංකාවේ සිටින සුරේෂ්ට එසැණින් රුපියල් පනස් දහසක මුදලක් වෙස්ටර්න් යූනියන් සේවාව හරහා එවයි.

වෙළඳ දැන්වීම තුළ ඇල්බට් අංකල් කවුරුන්ද යන්න අනාවරණය නොවන නමුත් ඇල්බට් අංකල් යන නාමය එදා පටන් මෙරට තුළ විදේශ රටවලින් මුදල් එවීම හඟවන සුවිශේෂී සංකේතයක් බවට පත් වී තිබේ.

වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හුවමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්‍රිය චරිතයට නැවත ජීවය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සමග ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සුවිශේෂී ඩිජිටල් ත්‍යාග එකතුවක්ද හිමිවනු ඇත.

“රටේ පවතින වත්මන් ආර්ථික ගැටලු විසඳීම සඳහා, විදේශ රටවල සිට මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය වැඩිකර ගැනීම ඉතාමත් වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා මෙම නිර්මාණශීලී වැඩසටහන දියත් කිරීමට තීරණය කළා. ඇල්බට් අංකල්ගේ චරිතයට නැවත ජීවය දීම මගින් අපට බාල මහලු කාටත් ආමන්ත්‍රණය කරමින්, පිළිගත් මුදල් හුවමාරු නාලිකා හරහා මුදල් එවා රටේ යහපතට දායක වීමට මෙන්ම ඔවුන් දිරිමත් කිරීමට හැකිවේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගමික ද සිල්වා මහතා පැවසී ය.

‘Digital collectibles’ හෝ ‘Non-Fungible Tokens’ (NFTs) යනු කලාකෘති හෝ ඉඩකඩම් වැනි සත්‍ය ලෝකයේ දේවල් නියෝජනය කරන, බ්ලොක්චේන් (blockchain) එකක ඇති ක්‍රිප්ටෝග්‍රැෆික් වත්කම් (Cryptographic assets) වර්ගයකි. සෑම NFT එකක්ම අනෙකුත් NFT වලින් වෙන්කර හඳුනාගත හැකි අනන්‍යතා කේතයක් සහ පාරදත්ත (Metadata) ඇත. සැබෑ ලෝකයේ භෞතික වත්කම් මේ ආකාරයට ‘ටෝකන්කරණය’ කිරීම මගින් වංචා සිදුවීමේ සම්භාවිතාව අවම වන අතරම ඒවා මිලදී ගැනීම සහ විකිණීම වඩාත් කාර්යක්ෂම වේ.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 15 දෙනෙකුට ‘Uncle Albert NFT ‘හිමිවන අතර, ඒ අතරින් එක් ජයග්‍රාහකයෙකුට මුදලින් රු. 100,000/- ක්ද හිමි වේ. දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන අතර, වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට දින 45 ක කාලයක් ඇතුළත, ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ඇමරිකානු ඩොලර් 500 කට සමාන හෝ ඊට වැඩි මුදලක් ප්‍රේෂණය කරන පුද්ගලයන්, එම ගනුදෙනුවට අදාළ යොමු අංකය සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටුව වෙත යොමු කළ යුතුය.

එවිට ඔවුන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මූලික ත්‍යාග වලට අමතරව ජයග්‍රාහකයන්ට සෙලාන් බැංකුවේ ප්‍රමුඛතා ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෙලාන් බැංකුවේ ශාඛා වලදී සියලුම සේවාවන් සඳහා ප්‍රමුඛතාව හිමි වීම ඇතුළු විශේෂ සේවාවන් හා ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ.

Visits: 115