SLITT සිසුන්ගේ විශිෂ්ඨ වූ කලා කුසලතාවයන් එළිදැක්වූ ‘SLIIT’s Got Talent 2022’

SLIIT හි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව (FESC) විසින් දෙවසරකට පසුව සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ ප්‍රාසාංගික කුසලතා ප්‍රදර්ශනය කාගේත් සුවිශේෂී අවධානයට ලක් වෙමින්, සිසුන්ගේ කලාත්මක හැකියාවන් සහ විශිෂ්ඨ වූ රංගන කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් අයුරින් පසුගියදා පැවැත්විය.

8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ වාර්ෂික කුසලතා ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී ‘Let’s Make it Happen’ යන තේමාව යටතේ පැවැත්විණි. SLIIT හි සියලුම පීඨ නියෝජනය කරමින් තරඟ වැදුණු සහජ දක්ෂතාවයන් ඇති උපාධි අපේක්ෂකයින්, අපූරු නර්තන ශිල්පීන්ගෙන් සහ ගායක ගායිකාවන්ගෙන් සැදුම්ලත් අලංකාර වූ සංගීතමය සුසංයෝගයක් නිර්මාණය කළේය. ඔවුන් SLIIT වාද්‍ය වෘන්දය වන ‘Elements’ සමඟින් එක්ව මෙම උත්කර්ෂවත් අවස්ථාව සුවිශේෂී වූ නොමැකෙන මතකයන්ගෙන් පිරී ගිය මොහොතක් බවට පත් කළ අතර 1,600 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳ ගැනීම සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

ගායන අංශයේ තරඟ සඳහා 250 දෙනෙකු සහ තූර්ය වාදක අංශයේ තරඟ සඳහා කණ්ඩායම් 14 ක් ලියාපදිංචි වූ අතර තෝරා ගැනීම්වලින් අනතුරුව අවසාන තරඟය සඳහා ගායන අංශයෙන් ගායකයින් 12 දෙනෙකු සහ නර්තන අංශයෙන් කණ්ඩායම් 6 ඉදිරිපත් විය.

ගායන අංශයේ දක්ෂතම ගායක ගායිකාවන් සඳහා ජයග්‍රාහී කිරුලු ප්‍රධානය කරනු ලැබූ අතර, ගායන අංශයේ ප්‍රථම ස්ථානය මදාරා පෙරේරා විසින් හිමි කර ගනු ලැබුවාය. එම අංශයේ දෙවන ස්ථානය විහාන් උඩවෙල විසින් දිනා ගත් අතර තුෂාන් විජයකෝන් තෙවන ස්ථානය හිමි කර ගත්තේය. ජනප්‍රියම ගායක අංශයේ ප්‍රථම ස්ථානය කසුන් වේරගොඩ විසින් හිමිකර ගනු ලැබීය. නර්තන අංශයේ ප්‍රථම ස්ථානය Six Counts නර්තන කණ්ඩායම දිනා ගත් අතර දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් Matra සහ The Dazzlers යන නර්තන කණ්ඩායම් විසින් හිමි කරගනු ලැබිණි. වඩාත් ජනප්‍රියතම සංගීත කණ්ඩායම බවට තේරී පත් වූයේ Six Counts සංගීත කණ්ඩායමය.

SLIIT’s Got talent සමාරම්භක උත්සවය 2013 වසරේ දී SLIIT ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එය සිසුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඉංජිනේරු පීඨය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පැවති සරල උත්සව අවස්ථාවක් ලෙස පැවැත්විණි. එය වසර ගණනාවක් පුරා, ප්‍රමාණයෙන් විශාල උත්කර්ෂවත් උත්සව අවස්ථාවක් ලෙස වර්ධනය වෙමින් වර්තමානයෙදී SLIIT තුළ සහ දේශීය විශ්ව විද්‍යාල අතර ද ප්‍රමුඛ පෙළේ උත්සවයක් ලෙස ද පිළිගැනීමට ලක්ව තිබේ. මේ වන විට මෙය කොළඹ BMICH සහ නෙළුම් පොකුණ වැනි විශාල වේදිකා සහිත ස්ථානවල සංවිධානය කරනු ලැබීම විශේෂත්වයකි.

Views: 51