රුපියල් 2.35ක ලාභාංශ නිවේදනය කළත් මෙල්ස්ටාකෝර්ප් වටිනාකම් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම (MELS.N0000) සිය කොටස්හිමිකරුවන් සඳහා වන ලාභාංශ ගෙවීමක් පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.35ක් ලෙස මෙම ලාභාංශ ගෙවන බව සමාගම එහිදී සඳහන් කර තිබුණි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් විය. එහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 06 වැනිදා ප්‍රකාශ කෙරුණු අතර,  ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 16 නම් විය.

එසේම මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම එහිදී සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් අද (08දා) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුර පස්වරු 12.30 වන විට මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී කොටසක වටිනාකම, පෙර දිනයට සාපේක්ෂව රුපියල් ශත 70ක එනම් 1.53%ක ප්‍රතිශතයකින් පහත වැටී තිබීම විශේෂත්වයක් ගැනුණි.

එහිදී ඇතැම් අවස්ථාවකදී කොටසක අගය රුපියල් 44.10ක් ලෙස රුපියල් 1.60කින් එනම් 3.50%ක මට්ටමකින්ද පහළ වැටීමක් දැකගත හැකිවිය.

මේ අතර ඊයේ පොහොය දිනයෙන් අනතුරුව මෙම සතිය සඳහා පළමු ගනුදෙනු දිනය වූ අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත ගනුදෙනුද පෙර දිනයට සාපේක්ෂව පසුබැසීමක් පෙන්නුම් කෙරිණි.

ඒ අනුව පස්වරු 12.30 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 203.94 කින් එනම් 2.40%කින්ද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකය ඒකක 59.13කින් එනම් 2.23%කින්ද පහත වැටී තිබුණි. එසේම සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 962ක් ලෙස පමණක් සටහන් විය.

Visits: 88