2022 පෙබරවාරි මාසයේ වෙළෙඳ හිඟය ඩොලර් මිලියන -781ක් දක්වා තවදුරටත් ඉහළට

මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,092ක් ලෙස සටහන්ව තිබේ. එය 2021 පෙබාවරි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 952ක භාණ්ඩ අපනයන ආදායම හා සැසඳීමේදී 14.7%ක වර්ධනයකි.

එසේම මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,873කි. එය පෙර වසරේ පෙබරවාරි මාසයේදී ආනයන වියදම වූ ඩොලර් මිලියන 1,524 හා සැසඳීමේදී 22.9%ක වර්ධනයකි.

මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ 2022 පෙබරවාරි මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය හරහා මේ පිළිබඳව අනාවරණය කර සිටියි.

ඒ අනුව 2022 පෙබරවාරි මාසයේදී මෙරට අපනයන ආදායම හා ආනයන වියදම අතර වෙළෙඳ හිඟය ඩොලර් මිලියන -781ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2021 පෙබරවාරි මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන -572ක වෙළෙඳ හිඟය හා සැසඳීමේදී එය තවදුරටත් පුළුල්වීමක් පෙන්නුම් කර ඇත.

එසේම 2022 ජනවාරි සිට පෙබරවාරි දක්වා මාස දෙකක කාලය තුළදී මෙරට අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,192ක් ලෙස සටහන්ව ඇත. එය 2021 ජනවාරි පෙබරවාරි අතර වාර්තා කළ ඩොලර් මිලියන 1,888ක ආදායම හා සැසඳීමේදී 16.1%ක වර්ධනයකි.  

එම කාලසීමාවේදී මෙරට ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,832කි. එය 2021 ජනවාරි සහ පෙබරවාරි අතර වියදම වූ ඩොලර් මිලියන 3,115 හා සැසඳීමේදී 23.0%ක වර්ධනයකි. ඒ අනුව මෙම මාස දෙක සඳහා වන වෙළෙඳ හිඟය ඩොලර් මිලියන -1,640ක් ලෙස සටහන්ව ඇත.

එය 2021 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී මෙරට වෙළෙඳ ශේෂය වූ රුපියල් මිලියන -1,227ක වෙළෙඳ ශේෂය හා සැසඳීමේදී තවදුරටත් පුළුල් වීමකි.

මෙලෙස 2022 ජනවාරි – පෙබරවාරි අතර කාලයේදී වෙළෙඳ හිඟය ඉහළ යාම සඳහා දායක වූ ප්‍රධාන අයිතම කිහිපයකි.

ඒ අතරින් තේ අපනයන වියදම ඩොලර් මිලියන 21.4කින් අඩුවීම, ඉන්ධන ආනයනය ඩොලර් මිලියන 262.5 කින් ඉහළ යාම, රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය ඩොලර් මිලියන 180.4 කින් ඉහළ යෑම, ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ආනයනය ඩොලර් මිලියන 95.4 කින් ඉහළ යෑම, මූල ලෝහ ආනයනය ඩොලර් මිලියන 79.5 කින් ඉහළ යෑම, ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය ඩොලර් මිලියන 62.6 කින් ඉහළ යෑම, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයනය ඩොලර් මිලියන 57.6 කින් ඉහළ යෑම සහ බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත ආනයනය ඩොලර් මිලියන 37.4 කින් ඉහළ යෑම යනාදිය හේතු වී තිබේ.

Visits: 64