SLIIT හා News 1st එක්ව ‘Tech Buzz SL’ නමින් වැඩසටහන් මාලාවක් අරඹයි

වර්තමාන ඩිජිටල් සාක්ෂරතාවය සහ තාක්ෂණික ප්‍රවණතා පිළිබඳව ග්‍රාමීය ප්‍රදේශවල තරුණ සිසු පරපුර දැනුම්වත් කිරීම සඳහා SLIITආයතනය සහ News 1st විසින් දිවයින පුරා පිහිටි ග්‍රාමීය පාසල්වල සහ මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ‘Tech Buzz SL’ නමින් වැඩසටහන් මාලාවක් පවත්වා තිබේ.

ග්‍රාමීය ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට නවීන තාක්‍ෂණික දැනුම හා ප්‍රවණතා බෙදා හැරීමට සහ ඔවුන්ගේ ගැටලු මඟහරවා ගැනීමට තාක්‍ෂණය තුළින් විසඳුම් සෙවීමේ අරමුණින් මෙරටේ ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති ජාලයක් වන News 1st සමඟ එක්ව මෙම වැඩසටහන මෙහෙයවනු ලැබිණි.

පුත්තලමෙන් ආරම්භ වූ මෙම වැඩසටහන් මාලාව වැලිකන්ද, වවුනියාව, කන්තලේ, මොණරාගල සහ බිබිල යන ප්‍රදේශවලද පැවැත්විය.

2022 වසරේ පසුගිය ජනවාරි මස සිට මාර්තු මස දක්වා කාලය තුළ SLIIT ආයතනය දිවයින පුරා සංචාරය කරමින් ග්‍රාමීය පාසල් වෙත ගොස් සිසුන් සිත්ගන්නා සුළු සැසිවල යෙදවීමට සහ ඊට සහභාගීවන්නන් තාක්‍ෂණය හා සම්බන්ධ පුළුල් මාතෘකා පිළිබඳව උනන්දුවක් ඇති කරවීමට කටයුතු කළේය.

SLIIT හි තොරතුරු තාක්ෂණ අධ්‍යක්‍ෂ චමින්ද ලෙව්කේ බණ්ඩාර මහතා විසින් ‘ඩිජිටල්කරණය වූ ලෝකයේ ඔබ ආරක්ෂිතද?’ යන්න පිළිබඳ සැසියක් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. ශිෂ්‍ය සේවා සහ බාහිර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂක උදිත ගමගේ මහතා, වැලිකන්ද මධ්‍ය මහා විද්‍යාලයට ගොස් ‘ජාලකරණ ආරක්ෂණය සහ නව තාක්ෂණය’ පිළිබඳව සිසු දරුවන් දැනුම්වත් කරනු ලැබීය. SLIIT පරිගණක පීඨයේ සහකාර මහාචාර්ය ආචාර්ය ජනක විජේකෝන් මහතා විසින් ‘Smart ලෝකයකට IOT සහ කෘතිම බුද්ධිය’ පිළිබඳව දිවුලපිටිය ශ්‍රී ඥානෝදය ජාතික පාසලේදී සැසියක් පවත්වන ලදී. SLIIT පරිගණක පීඨයේ සහකාර මහාචාර්ය හා උපාධි අධ්‍යයන හා පර්යේෂණ පීඨයේ අංශ ප්‍රධානී ආචාර්ය අනුරාධ ජයකොඩි මහතා, කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේදී ‘වර්තමාන විද්‍යාව සහ අනාගත රොබෝ තාක්ෂණය’ පිළිබඳව සිසු දරුවන් දැනුම්වත් කළේය.

මීට අමතරව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය නිම්සිරි අබේරත්න මහතා විසින් මොණරාගල ඇතිමලේ ජාතික පාසලේ සිසු සිසුවියන් අමතමින් ‘තාක්ෂණය; වර්තමානයේ ලෝකය සහ අපි සිටින්නේ කොහෙද?’ යන්න පිළිබඳව සාකච්ඡා කළේය. මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර මහතා, බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ සිසුන් සඳහා ‘අලි මිනිස් ගැටුම විසඳීම සඳහා IOT තාක්ෂණය’ පිළිබඳ දැනුම්වත් කරන ලදී.

News 1st කණ්ඩායම පාසල් සමඟ සම්බන්ධ වී මෙම සැසි පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන ලදී. එපමනක් නොව එම කණ්ඩායම විසින් Tech Buzz වෙත Virtual Reality (VR) උපකරණ සහ අනෙකුත් තාක්ෂණික මෙවලම් හා උපාංග සපයමින් සිසුන්ට සහ ගුරුවරුන්ට නව තාක්ෂණික අත්දැකීම් අත්විඳීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

තරුණ පරපුර නවීන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කිරීමේ තම මෙහෙවර අඛණ්ඩව කරගෙන යනු ලබන SLIIT ආයතනය, SLIITහි ප්‍රවීනයන්ගේ ප්‍රධානත්වය ඇතිව මෙහෙයවනු ලැබූ මාර්ගගත සම්මන්ත්‍රණ සැසි (webinars) කිහිපයක් ද පවත්වන ලදී.

පරිගණක පීඨයෙහි, පරිගණක පද්ධති ඉංජිනේරු තාක්ෂණ අංශයේ අංශ ප්‍රධානී නුවන් කෝදාගොඩ මහතා විසින් ‘කේතීකරණය ඔබේ ජීවිතයට’ පිළිබඳව අදහස් දැක්වූ අතර, SLIIT ව්‍යාපාර පාසලෙහි ජේෂ්ඨ අධ්‍යයන සභික ශාන්ත යාපා මහතා, ‘අපි අපගේ නිර්මාණශීලීත්වය භාවිතා කරනවාද?’ යන්න පිළිබඳව සාකච්ඡා කළේය. ‘සයිබර් තාක්ෂණික ක්‍රම සමගින් ලෝකය ජය ගනිමු’ යන මාතෘකාව පිළිබඳව පරිගණක පිඨයෙහි, පරිගණක පද්ධති අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලක්මාල් රූපසිංහ මහතාද,  පරිගණක පීඨයේ මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා, ‘නව්‍යකරණය සමගින් ලෝකය දිනමු’ යන මාතෘකාව පිළිබඳව සහ ආචාර්ය මලිත විජේසුන්දර හා  මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ මහාචාර්ය කොලින් පීරිස් යන මහත්වරුන් එක්ව ‘නවීන කෘෂිකර්මාන්තය සඳහා IOT තාක්ෂනය’ පිළිබඳව සාකච්ඡා කළහ.

SLIIT නියෝජ්‍ය උපකුලපති නිමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ”ඩිජිටල් සාක්ෂරතාවය සහ කුසලතා ග්‍රාමීය තරුණ තරුණියන්ගේ දියුණුව සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයන්ය. මෙම සැසි හා මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව හරහා එදිනෙදා ගැටලු සඳහා ඩිජිටල් විසඳුම් සෙවීමට ග්‍රාමීය සිසු දරුවන් පෙළඹවීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඒ සඳහා News 1st සමඟ අපගේ හවුල්කාරිත්වය ඇතිකර ගැනීම සුවිශේෂී වූ කරුණක්. ග්‍රාමීය තරුණ තරුණියන්ට ඔවුන්ගේ සැබෑ හැකියාවන් වෙත ළඟා වීමට අවශ්‍ය ඩිජිටල් බාදාව වටහා ගනිමින්, ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ඔවුන් ඩිජිටල් දැනුමෙන් සහ කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය සුදුසුම අවස්ථාව ලෙස SLIIT හා News 1st විසින් ගෙන ආ Tech Buzz හැඳින්විය හැකි වී තිබෙනවා.” යනුවෙන් පැවසීය.

Visits: 38