සෙලින්කෝ ලයිෆ් 2020 වසරේ ‘වඩාත් ප්‍රසාදයට ලක් වූ’ සමාගම් ලයිස්තුවෙහි එකම රක්ෂණ සමාගම බවට පත්වෙයි

සෙලින්කෝ ලයිෆ් සමාගමට තවත් ගෞරවයක් පුදකරමින් ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය (CIMA) සමග එක්ව 2019-20 තුළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදී ඇතැයි පවසයි.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මෙම ගෞරවණීය ලයිස්තුවට එක්වූ දෙවන අවස්ථාව මෙය වේ. එසේම, මෙම ලයිස්තුවේ පළමු සමාගම් 10 සහ ඊට අමතරව නම් වූ සමාගම් පහ අතර සිටින එකම රක්ෂණ සමාගම වන්නේද සෙලින්කෝ ලයිෆ් සමාගමයි. 

මෙම සමාගම් අතර ලයිස්තුගත සහ ලයිස්තුගත නොවූ සමාගම් ඇතුළත්වී තිබේ. මේ සඳහා තෝරා ගැනීමේදී මූල්‍ය කාර්ය සාධනයට අමතරව කොටස්කරුවන්ට, පාරිභෝගිකයින්ට, සේවකයින්ට සහ පුළුල් වශයෙන් සමාජයට සිදුකළ අගය එකතු කිරීම සැලකිල්ලට ගෙන තිබේ. මෙම සම්මානය මගින් ඇගයීමට ලක්කර තිබෙන්නේ මෙම සමාගම්වල තිබෙන ස්ථාවරත්වය, ශක්තිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්ය සාධනයයි.  

සෙලින්කෝ ලයිෆ් සමාගම 2019 වසර අවසන් වනවිට රුපියල් බිලියන 32.1 ක ශක්තිමත් ඒකාබද්ධ ආදායමක් වාර්තා කළ අතර රුපියල් බිලියන 18.7 ක දළ ලිඛිත රක්ෂණ වාරික ආදායමක් ලබාගැනීමට සමත්විය. මෙම තත්ත්වය හේතුවෙන් සමාගම පිට පිටම 16 වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වූ අතර රුපියල් බිලියන 6.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත්විය. 2019 වසර අවසන් වනවිට සමාගමේ ආයෝජන කළඹ රුපියල් බිලියන 116.9 ක්වූ අතර වටිනාකමට අනුව සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 133.2 ක් විය.

ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරළත් ආයතනය එක්ව මෙරට වඩාත් ප‍්‍රසාදයට ලක් වූ සමාගම් ලයිස්තුව සකස් කිරීමේදී ජාත්‍යන්තර පිළිගත් ක‍්‍රමවේදයකට අනුව ඉතාමත් දැඩි ඇගයීමක් සිදුකරන අතර මෙම තෝරාගැනීම සිදුකරන්නේ කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසිනි. මෙහිදී, අනුගමනය කරන ප‍්‍රමාණාත්මක ක‍්‍රමවේදයට මූල්‍ය ස්ථායීතාවය, දිගුකාලීන ආයෝජන වටිනාකම් නිර්මාණය කිරීම, ඉපැයුම් වර්ධනය සහ ලාභාංශ ගෙවීම ඇතුළත් වන අතර ගුණාත්මක ක‍්‍රමවේදයට කළමනාකරණ ගුණාත්මකභාවය, නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක තත්ත්වය, තරඟකාරීත්වය, ආකර්ශනය කර ගැනීමට තිබෙන හැකියාව, සංවර්ධනය, දක්ෂතාවය සහ නවෝත්පාදනය තබාගැනීම, අවංකභාවය සහ ව්‍යාපාරික සදාචාරයද ඇතුළත්ව පාරිසරික, සමාජ සහ ආයතනික වගකීම සැලකිල්ලට ගෙන තිබේ.  

අතිවිශිෂ්ට කාර්ය සාධනයක් සහ අනිකුත් ඉලක්ක ජයගත් සමාගම් සඳහා මෙම සම්මානය ලබාදෙන බව මෙම සම්මාන ප‍්‍රදානය කරන්නන් සඳහන් කරයි. මෙම සම්මාන සඳහා සුදුසුකම් ලබන්නේ 2020 ජුනි 30 වනදා වනවිට වසර පහකට වැඩි කාලයක් ව්‍යාපාර කර තිබෙන 30% ක් හෝ එයට වඩා දේශීය හිමිකාරීත්වයක් ඇති සමාගම් පමණි.  

Visits: 75