2021 අයවැය විවාදය දින 19ක්

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 19ක කාලයක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව පැවසෙයි.

ඒ අනුව ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය සිදුවන අතර, දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වනදා පස්වරු 5ට සිදු කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා සිටියි.

ඉන් පසු නොවැම්බර් 23 වනදා සිට කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පැවැත්වෙන අතර, එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වැනිදාය. එදින පස්වරු 5ට ඡන්ද විමසීම සිදු වන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

අයවැය විවාදයේදී පාර්ලිමේන්තුව දිනපතා පෙරවරු 9.30ට රැස්වීම් ආරම්භ කර සවස 5.30 දක්වා පැවැත්වෙයි. නොවැම්බර් 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පෙරවරු 9.30 සිට 10.30 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම් පැවැත්වෙයි.

එසේම නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 10 වන දා දක්වා පෙරවරු 9.30 සිට 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න  විමසීමේ අවස්ථාව ක්‍රියාත්මක වෙයි.

ඊයේ පෙරවරුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට කතානායකවරයාට අමතරව සභානායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමාදස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාලද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර සහ අලි සබ්රි යන මහත්වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, මහින්ද සමරසිංහ, රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, අනුර දිසානායක, ඩිලාන් පෙරේරා, එම්.ඒ. සුමන්දිරම්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුද සහභාගි වී තිබේ.

එසේම පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතාද මෙම අවස්ථාවට සහභාගි වූ බව පාර්ලිමේන්තුව පවසයි.

Views: 139