Ant Group ලොව විශාලතම මූලික හිමිකම් නිකුතුවට සැරසෙයි

චීනයේ අලිබාබා ව්‍යාපාර සමූහයට අයත්  ඩිජිටල් මූල්‍ය සමාගම වන Ant Finance සමාගම අයත් Ant Group (Ant Group Co Ltd.) ලබන නොවැම්බර් 05 වැනිදා එතෙක් මෙතෙක් ලොව සිදු වුණු විශාලතම මූලික මහජන හිමිකම් නිකුතුව සඳහා සූදානමින් සිටින බව පවසයි. සමාගමට අනුව මෙම හිමිකම් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 34.4 කි.

මෙහිදී චීනයේ ෂැන්ග්හයි කොටස් වෙළෙඳපොළ වෙත සහ හොංකොං කොටස් වෙළෙඳ පොළ වෙත මෙම මූලික  හිමිකම් නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. ඒ අනුව ඒ හරහා එක්සත් ජනපද ට්‍රිලියන 3ක වටිනාකමින් යුත් ලංසු ආකර්ෂණය කරගැනීම අරමුණ බව සමාගම පවසයි. එහිදී ෂැන්ග්හයි කොටස් වෙළෙඳපොළ තුළින් එක්සත් ජනපද ට්‍රිලියන 2.9කද, හොංකොං කොටස් වෙළෙඳ පොළින් ඩොලර් මිලියන 168කද ලංසු ඉදිරිපත් වෙනු ඇතැයි සඳහන් වෙයි.

මීට පෙර ලොව වැඩිම වටිනාකමක් සහිතව මූලික හිමිකම් නිකුතුවක් සිදුකර ඇත්තේ සෞදි අරාබියේ ඇරැම්කෝ සමාගමයි. පසුගිය වසරේදී සිදු වූ එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 29.4 කි. එසේම මීට පෙර අලිබාබා සමාගමද සිදු කළ හිමිකම් නිකුතුවක් හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 25ක මුදලක් රැස් කරගැනීමට සමත් වී තිබේ.

මෙම මූලික හිමිකම් නිකුතුවෙන් පසුව Ant Group හි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 313ක් බවට පත්වීමට නියමිතව තිබේ. ඒ අනුව මේ සමග Ant Group සමාගම ලොව සිව්වැනි විශාලතම සමාගම බවටද පත්වන බව පැවසෙයි. අද වනවිට ලොව විශාලතම මූල්‍ය සමාගම් වන්නේ මාස්ටර්කාඩ්, වීසා සහ බර්ක්ෂයර් හාරත්වේ සමාගම්ය.

චීනයේ අංක එකේ පොහොසතා වන ජැක් මා වෙත අයත් අලිබාබා සමාගම විසින් 2004 වසරේදී සිය පාරිභෝගිකයන් සඳහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමවේදයක් ලෙස ඉදිරිපත් කළ Alipay සමාගම මෙලෙස Ant Group බවට පත් විය. අලිබාබා සමාගම ගෙවීම් සිදු කරන ගනුදෙනුකරුවන් තුළ විශ්වාසනීය ගනුදෙනුවක් සඳහා මෙලෙස Alipay සමාගම මෙලෙස පිහිටුවිණි.

2008 වසරේදී Alipay සමාගම ජංගම දුරකතනය හරහා ක්‍රියාත්මක වන තත්ත්වයට පත්වීමත් සමගම එහි පරිශීලකයන් ප්‍රමාණයද මිලියන 20ක් දක්වා ඉහළ  යාම සිදු විය. එම ගෙවීමේ ක්‍රමවේදය හරහා අන්තර්ජාලය තුළින් භාණ්ඩ මිලදී ගැනීමට අමතරව විවිධ බිල්පත් ගෙවීමද සිදු කළ හැකි වීම එය ජනතාව අතර ප්‍රචලිත වීමට හේතු විය.  2014 වසරේදී  Alipay සමාගම Ant Group (ANT Financial) බවට පත් විය.

Views: 259