ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී වෙත ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියනයක් රැස් කිරීමට අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ණයකර නිකුතුවක් හරහා සිය වත්කම් රුපියල් බිලියකයකින් ඉහළ නංවා ගැනීමේ සැලසුමක් සඳහා අනුමැතිය ලබා දීමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර  ඇතැයි ඊයේ අනාවරණය කෙරිණි.

ඒ අනුව ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් ලැයිස්තුගත, ආපසු මුදවාගත  හැකි, ඇගැයූ ණයකර මිලියන 7.5ක (7,500,000) ප්‍රමාණයක් එකක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට මෙහිදී තීරණය කෙරී ඇත. එසේම තවදුරටත් අවශ්‍ය අරමුදල් රැස් කරගැනීම සඳහා තවත් ඉහත සඳහන් කළ ණයකර මිලියන 2.5ක්ද (2,500,000) එම මිලටම නිකුත් කිරීමට සැලසුම් කරගෙන ඇතැයිද එම සමාගම සඳහන් කර සිටියි.

මෙලෙස නිකුත් කෙරෙන ණයකර මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ලබන සැප්තැම්බර් 29 වැනිදා නිල වශයෙන් විවෘත කෙරෙන බවත් සමාගම පවසයි.  එහිදී අධි ඉල්ලුමක්ද සහිතව මෙම ණය කර නිකුතුව හරහා සමාගම වෙත රැස් කරගැනීමට සැලසුම් කර ඇති සමස්ත මුදල් වටිනාකම රුපියල් බිලියනයකි (1,000,000,000).

ඉන්දියාවේ මුතූට් ගෘප් සමූහයට අයත් මුතූට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මෙරට තුළ වසර 50කට අධික කාලයක් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී, තැන්පතු ලබා ගත හැකි ලියාපදිංචි මූල්‍ය අංයතනයක් බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී අදාළ ණයකර නිකුතුව සඳහා කළමනාකරුවන් ලෙස කැපිටල් එලායන්ස් පාර්ට්නර්ස් ලිමිටඩ් සමාගම කටයුතු කරන අතර, නිකුතුවේ රෙජිස්ටාර්වරයා ලෙස පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් (පෞද්) සමාගම කටයුතු කරයි.

Visits: 397