වසර 28කට පසු රැස්වූ අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේ කාර්යයන් මෙන්න

අපනයන සංවර්ධන සභාවේ පළමු හමුව පසුගිය 23 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් පැවැත්වුණු බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන් අවශ්‍යතාවය හා වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම හමුව මෙලෙස සංවිධානය වී තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති සාමාන්‍ය හෝ විශේෂ උපදෙස් වලට යටත්ව ජාතික අපනයන සංවර්ධන ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම මෙම සභාව පිහිටුවීමේ ප්‍රධානතම පරමාර්ථය වී තිබේ.

අපනයන සංවර්ධන සභාවේ පළමු රැස්වීම 1980 සැප්තැම්බර් 11 දින පැවැත්වූ අතර එතැන් සිට 1992 මැයි 26 දක්වා රැස්වීම් 10ක් පවත්වා ඇත. ඉන්පසු වසර 28ක් පුරාවට මෙම අමාත්‍ය මණ්ඩලය රැස්වී නොමැති බවත් පැවසෙයි.

‍මෙහිදී ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමාගේත් අපනයන සංවර්ධන සභාවේ සෙසු සාමාජිකයන් හා කැබිනට්  අමාත්‍යවරුන්ගේ ද විශේෂයෙන්ම දේශීය අපනයනකරුවන්ගේ අදහස් යෝජනා ආදී සියල්ලක්ම සළකා බලමින් මෙය ක්‍රියාවට නැංවෙනු ඇත.ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන සභාවේ සංයුතිය පහත පරිදි වේ.

සභාවේ සභාපති – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

  1. මුදල් අමාත්‍ය – මහින්ද රාජපක්ෂ මහතා
  2. වෙළෙඳ අමාත්‍ය – ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
  3. නාවික කටයුතු අමාත්‍ය – රෝහිත අබේගුණවර්ධන මහතා
  4. කර්මාන්ත අමාත්‍ය  – විමල් වීරවංශ මහතා
  5. කෘෂිකර්ම අමාත්‍ය – මහින්දානන්ද අළුත්ගමගේ මහතා
  6. වැවිලි කර්මාන්ත අමාත්‍ය – වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
  7. පේෂ කර්මාන්ත අමාත්‍ය  – දයාසිරි ජයසේකර මහතා
  8. ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද මහතා
  9. විදේශ කටයුතු අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන මහතා
  10. සැලසුම් හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය –

අපනයන සංවර්ධන අමාත්‍ය සභාව විසින් දෙනු ලබන තීරණ ක්‍රියාත්මක කරන විධායක අංශය ලෙස ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරනු ඇතැයිද වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එහිදී අපනයන සංවර්ධන මණ්ඩලය වෙත පැවරී ඇති කාර්යයන් වශයෙන්,

  1. ජාතික අපනයන ප්‍රතිපත්තිය සහ වැඩසටහන් පිළිබඳව අපනයන සංවර්ධන අමාත්‍ය සභාවට උපදෙස් දීම
  2. අපනයන අරමුණු කරගත් ආයෝජන පිළිබඳ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  3. ජාතික අපනයන සංවර්ධන සැලසුමක් සහ වැඩසටහන් සකස් කර අපනයන සංවර්ධන අමාත්‍ය සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
  4. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරීව සහාය වීම. යනාදිය වෙයි

“සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කර ගනිමින් රටේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබමින් රටට ආදායම් හිමි කර දෙනඅපනයනකරුවන්ගේ වෙළෙඳපොල අවශ්‍යතා නිසි නියාමනයකින් යුතුව උසස් මට්ටමින් ඉටු කර දීමටත්, හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳපොල සකසා දීමටත්, රටටත් අපනයනකරුවාටත් වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමේ නව සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් මෙමඟින් ඍජුවම හැකියාව ලැබෙන අතර අපනයන ක්ෂේත්‍රයේ ගැටළු විසඳමින් දැනට පවත්නා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සංශෝධනයට සහ නව්‍යකරණයට ලක් කිරීමත් අරමුණු කර ගනිමින් සාකච්ඡා ආරම්භ කෙරිණි.” වෙළෙඳ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 92