කොළඹ පොල් වෙන්දේසියේදී පොල් මිල යළි පහළට

පොල් සංවර්ධන අධිකාරිය මගින් පසුගිය බ්‍රහස්පතින්දා (2020 ජූලි 02 දා) සිදු කළ ආසන්නතම පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි 1,000ක් සඳහා වන මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 51,674.42 ක් ලෙස නියම වුණු බව සඳහන් වෙයි. කෙසේ වෙතත් මෙය පසුගිය ජුනි 25 වැනිදා පැවැත්වුණු අවසන් පොල් වෙන්දේසියේදී පොල් ගෙඩි 1,000ක් සඳහා ලැබුණු මිලෙහි සාමාන්‍ය අගය වූ රුපියල් 55,017.40 කට අනුරූපව රුපියල් 3342.98 ක අඩුවීමකි.

මෙහිදී පොල් ගෙඩි 1,204,935ක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව ඇති අතර ඉන් පොල් ගෙඩි 858,223ක් අලෙවි වුණු බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

නව කොරෝනා වෛරසයේ බලපෑමෙන් පසුගිය මාර්තු 12 වැනිදා අත්හිටවුණු කොළඹ පොල් වෙන්දේසිය යළිත් වරක් ආරම්භ කෙරුණු පසුගිය අප්‍රේල් 09 වැනිදායින් පසුව ක්‍රමයෙන් පොල් වෙන්දේසියේ වටිනාකම ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි. අප්‍රේල් 09 වැනිදා පොල් ගෙඩි 1,000ක මිලෙහි සාමාන්‍ය රුපියල් 38,215.73 ක් වූ අතර පසුගිය මැයි 28 වැනිදා වනවිට එය 50,402.07ක් බවට පත්විය.

පසුව ජූනි මාසය ආරම්භයේ සිටම පොල් වෙන්දේසි වටිනාකමෙහි යම් අඩුවීමක් පෙන්නුම් කෙරිණි. ඒ අනුව ජූනි 04 සහ 11 දින දෙකේදී එම සාමාන්‍ය අගය පොල් ගෙඩි 1,000 කට රුපියල් 48,269.11 ක් සහ 48,117.79ක් විය. කෙසේ වෙතත් ජූනි 18 වැනිදා වන විට පොල් ගෙඩි 1,000ක් සඳහා වන වෙන්දේසි මිලෙහි සාමාන්‍ය අගය රුපියල් 55,318.53 ක් ලෙස මේ වසරේ මෙතෙක් වාර්තා කළ ඉහළම සාමාන්‍ය අගය බවට පත්විය.

පොල් සංවර්ධන අධිකාරිය මගින් සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙරවරු 10ට මෙම කොළඹ පොල් වෙන්දේසිය සිදු කරයි. ඒ සඳහා එම අධිකාරියේ නිලධාරීන් බලයලත් වෙන්දේසිකරුවන් ලෙස ක්‍රියා කරයි. තැපැල්පත්, දුරකතන, ෆැක්ස් හෝ ඉ-මේල් පණිවුඩ හරහා එම අධිකාරිය වෙත ලැබෙන පොල් තොග මිල ගණන් පිළිබඳ තොරතුරු අනුව මෙම වෙන්දේසි ක්‍රියාත්මක වෙයි.

Views: 149