සාර්ථක ආයෝජකයෙකු වීමට SEC වෙතින් සති 6ක පාඨමාලාවක්

ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ සාර්ථක ආයෝජකයෙකු බවට පත් වීම සඳහා නවමු ආයෝජකයන්ට අවශ්‍ය මූලික දැනුම ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නව වැඩසටහනක් ආරම්භ කර ඇතැයි පවසයි. මෙය Programme In Investing ලෙස නම් කර ඇත.

2020 ජූලි 25 වැනි සෙනසුරාදා ආරම්භ වන මෙම පාඨමාලා වැඩසටහන එතැන් සිට සති හයක කාලයක් සෑම සෙනසුරාදාවකම ක්‍රියාත්මකවීමට නියමිතව ඇත. කොළඹ 01, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය වන මෙම වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන්නකි.

මෙහිදී සියලුම දේශන ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ ආයෝජනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ නිරත සහ ඒ පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් සහිත විශේෂඥ කමිටුවක් මගින් සිදු කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි. පාඨමාලා ගාස්තුව රුපියල් 10,000 කි.

මෙම  පාඨමාලාව හරහා දැනට ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත යොමුව සිටින ආයෝජකයන්ට මෙන්ම ඒ වෙත යොමුවීමේ හැකියාවක් සහිත ආයෝජකයන්ට සිය ආයෝජන තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූලික න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දීම අරමුණ වී තිබේ.

මෙම වැඩසටහන තුළ පළමුවම කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය සම්බන්ධයෙන් හඳුන්වාදීම සිදු කෙරේ. එසේම ආයෝජනයේ ඇති ප්‍රතිලාභ, මිත්‍යා අදහස් සහ ආයෝජනයේදී සිදුවන අත්වැරදීම් මෙන්ම කොටස් තැරැව්කරුවෙකුගේ කාර්ය භාරයන් සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත්වීමක්  ලබා දෙයි.

ඊට අමතරව මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය, ඒකකභාර තුළ ආයෝජන සිදු කිරීම, ණය උපාංග තුළ ආයෝජන සිදු කිරීම මෙන්ම ආයෝජකයාගේ ආරක්ෂාව යනාදී කරුණු පිළිබඳවද දැනුම ලබා දීමට නියමිත බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

මේ වැඩසටහන සඳහා සම්බන්ධවීමට අවශ්‍ය අයැදුම්පත් සහ වෙනත් තොරතුරු www.cmetsec.gov.lk හෝ www.sec.gov.lk යන වෙබ් අඩවි හරහා ලබා ගත හැකිය. එසේම ලියාපදිංචිය පිළීබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0112 143 823, 0112 423 261 යන දුරකතන අංකවලින් සහ priyadarshini@sec.gov.lk යන ඉ-මේල් ලිපිනයෙන් ලබා ගත  හැකි බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

වැඩසටහන සඳහා වන අයදුම් පත්‍රය වෙත මෙතැනින් පිවිසිය හැකිය.

Visits: 587