අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකන් වැටුප් 25%කින් කපයි

අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකන් වැටුප් 25%කින් කපයි

COVID-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්ව ඇති ශ්‍රී ලංකා ගුවන් සමාගම තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් තම වියදම් ඉතිරි කිරීමක් අරඹා ඇතැයි එම ගුවන් සමාගම පවසයි.

එහිදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රටේ ආර්ථික අවශ්‍ය සලකා බලමින් මෙම තීරණය ගෙන ඇතැයි සමාගම සඳහන් කරයි. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකන් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වන යුතුකම පිළිබඳව සැමවිටම සැලකිලිමත් වන බවත් ජාතික ගුවන් සේවයේ ව්‍යාපාරික අඛණ්ඩතාව සහතික කිරීමත් මූලික වන බවත් සමාගම පවසා සිටියි.

ඒ අනුව ගෙන ඇති මෙම වියදම් අඩු කිරීමේ පියවර යටතේ ශ්‍රී ලංකන් සේවකයන් සඳහා 2.5% සිට 25% දක්වා වන අනිවාර්යය වැටුප් අඩු කිරීමක් මාස තුනක කාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත. එසේම 2020 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

මීට අමතරව ඊයේ ගත් තීරණයකට අනුව සිය ගුවන් භාණ්ඩ හුවමාරු සේවා හැර 2020 අප්‍රේල් 8 වැනිදා සිට අප්‍රේල් 21 වැනිදා දක්වා සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම තීරණය කළේද මෙම වියදම් අඩු කිරීමේ අවස්ථාවක් ලෙස බවත් පවසා සිටියි.

මෙහිදී විශේෂයෙන්ම ජාතික ගුවන් සේවයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සහ, සාමාජිකයන්ගේ අනාගත ජීවනෝපායන් ආරක්ෂා කරගැනීමට, ගුවන් සමාගමට සහාය වීම සඳහා සිය කාර්ය මණ්ඩලය සිදු කරන කැපකිරීම වෙනුවෙන් ගුවන් සේවය සිය අවංක කෘතවේදීතාවයද පළ කර සිටියි.

එසේම මෙම අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ඇතුළුව සියලුම වෘත්තීය සමිති ලබාදුන් සහයෝගය පිළිබඳව අවංක අගය කිරීමක් සිදු කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂණ මණ්ඩලය ඇතුළු කළමනාකාරීත්වය පවසයි.

Visits: 50