විදේශ මුදල් මෙරට තැන්පත් කරන ලෙස මහ බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලයි

විදේශ මුදල් මෙරට තැන්පත් කරන ලෙස මහ බැංකුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලයි

සියලුම ශ්‍රී ලාංකිකයන් සහ රටට සහ ජනතාවට හිතැති, විදෙස්ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම මේ මොහොතේදී තමන් සතු විදේශීය මුදල් සියල්ල දේශීය බැංකු තුළ තැන්පත් කරන මෙන් මහ බැංකුව ඉල්ලා සිටියි. එහි අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් සහ මහාභාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන්ගේ අත්සනින් යුක්තව අද දහවල් මහ බැංකුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට මුහුන දී තිබෙන දරුණු ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා සහායදීමේ අවස්ථාවක් ලෙස මහ බැංකුව මෙය හඳන්වා දී තිබේ.

ඒ අනුව මෙරට ලියාපදිංචි වාණිජ බැංකු සහ විශේෂිත මූල්‍ය ආයතන ඇතුළු ශ්‍රී ලාංකීය බැංකු පද්ධතිය තුළ මෙම විදේශීය මුදල් තැන්පත් කරන ලෙස මහ බැංකුව ඉල්ලා සිටියි. අද, එනම් 2020 අප්‍රේල් 02 වැනිදා සිට ඉදිරි මාස තුනක කාල සීමාවක් සඳහා මෙම මුදල් තැන්පත් කරන ලෙස මහ බැංකුව මෙම ලිපියේ සඳහන් කර තිබේ.

“මෙය රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වමින් රටෙහි ජනතාවගේ සමාජ සුරක්ෂිතතාව සඳහා ඉතා පුළුල් වූ මෙහෙයුමක් සිදු කෙරෙමින් පවතින මොහොතක්. රට තුළ පවතින ඉතාමත් අසීරු අවස්ථාවේදී ඔබගේ විදේශ මුදල් ශ්‍රී ලාංකික බැංකු පද්ධතිය තුළ තැන්පත් කිරීම බලධාරීන්ට මෙම වෛරස තත්ත්වය පාලනය සඳහා ලබා දෙන ඉතාමත් විශාල සහායක් වේවි.” ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අනුව විදෙස් මුදල් අතැතිව සිටින විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන්, පුණ්‍යායතන, අරමුදල් මෙන්ම ලොව පුරා විසිරී පැතිරී සිටින ශ්‍රී ලංකාවේ සුභසිද්ධිය පතන්නන්, හදවතින්ම ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ යහ පැවැත්ම පිළිබඳ කල්පනා කරන්නවුන් ඇතුළු පිරිසගෙන් මෙම ඉල්ලීම ඉදිරිපත්ව තිබේ.

මෙහිදී රජයේ, මහ බැංකුවේ හෝ වෙනත් කිසිදු රජයේ බලධාරියෙකුගේ හෝ කිසිදු බාධාවකින් තොරව මෙම මුදල් මෙරට වාණිජ බැංකු පද්ධතිය තුළ තැන්පත් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවත් මහ බැංකුව පවසා සිටියි. මෙලෙස විදේශ මුදල් මෙරට බැංකු තුළ තැන්පත් කිරීම සඳහා වන බාධා මාස තුනක් සඳහා ඉවත් කිරීම පිළිබඳව වන යෝජනාව සඳහා පසුගිය අප්‍රේල් 1 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එසේම ඉදිරියේදී මෙම මුදල් යළිත් විදේශ මුදල් ඒකක බවට පරිවර්තනය කිරීමේ අවස්ථාව පිළිබඳවත් තමන් වගකීම ගන්නා බවත්, ඊට අමතරව මෙම විදේශ මුදල් වටිනාකම් සියල්ලම විදේශ විනිම පාලන රෙගුලාසි සහ බදුවලින් නිදහස් කෙරෙන බවත්, බැංකු පද්ධතිය සතු රහස් ගිවිසුම් ප්‍රකාරව එම ගනුදෙනු පිළිබඳ තොරතුරු ආරක්ෂා කෙරෙන බවත් මහ බැංකුව සඳහන් කර සිටියි.

Visits: 213