මහජන බැංකුවේ 60 වැනි සංවත්සරයට මැදිරිගිරියේ වී ගබඩාවක් ඉදි කරයි

මහජන බැංකුව සිය 60 වැනි සංවත්සරයට සමගාමීව ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස ඉදිකළ මැදිරිගිරිය වි ගබඩා සංකිර්ණය පසුගියදා රජයේ අයිතියට භාරදෙන ලදි. ඒ අනුව මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා අතින් මැදිරිගිරිය ප‍්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.එම්.අයි කරුණාරත්න මහතා වෙත නිල වශයෙන් මෙහි යතුරු භාරදීම සිදුකෙරිණි.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදීමෙන් නොනැවතී සමාජ ආර්ථික සංවර්ධනය තුළින් පොදු ජනතාව නඟාසිටුවීමේ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස මහජන බැංකුව ඉදිකළ මෙම වී ගබඩා සංකීර්ණයේ  වී මෙටි‍්‍රක් ටොන් 1500 ක් ගබඩා කිරීමේ පහසුව ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා “ශී‍්‍ර ලාංකීය බැංකු ක්ෂේත‍්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකරමින් 1961 ජුලි 01 වනදා ඇරඹි මහජන බැංකුවට මෙම වසරේදි දශක හයක් සපිරෙනවා. මහජන බැංකුව, මෙරට ආර්ථික, සමාජීය හා සංස්කෘතික අංශයන් සඳහා සිදුකළ මෙහෙවර සංකේතවත් කරමින් 60 වැනි සංවත්සරය වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙලේ ප‍්‍රධාන අංගයක්  ලෙස මෙම වී ගබඩාව ඉදිකිරීම සැලකිය හැකියි.” යනුවෙන් පවසා තිබේ.

මෙම අවස්ථාවට මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති ශාන්ත කුමාර වික‍්‍රමාරච්චි, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහය සේවා) ලලිත් විතාන, අලෙවි ප‍්‍රධානි නාලක විජේවර්ධන යන මහත්වරුන්, පොළොන්නරුව ප‍්‍රාදේශිය කළමනාකාරිනි ඉදුමිණි රත්නායක මහත්මිය, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර එච්.ජී.එන් ආරෝහණ, මැදිරිගිරිය ශාඛා කළමනාකාරිනි එච්. එච් සිකුරාජපති යන මහත්ම මහත්මීන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගොවි සංගම් නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 71