ස්වදේශී කොහොඹ ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඩිජිටල් “අවුරුදු ලිත” එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ශාකසාර සබන් සන්නාමයේ  ප්‍රමුඛයා වන  ස්වදේශී කොහොඹ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩිජිටල් අවුරුදු ලිත සිය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇතැයි පවසයි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේ අත්දැකීමට නව වෙනසක් ඇති කරමින් මෙම එළිදැක්වීම සිදු කිරීමට සමාගම පියවර ගෙන තිබේ. 

විශේෂයෙන්ම තරුණ ප්‍රජාව වෙත මෙය  සුවිශේෂී අත්දැකීමක් ගෙන එනු ඇතැයි සමාගම විශ්වාස කරයි. පැරණි සම්ප්‍රදායන්ට අනුකූල වන ලෙසින් මෙම ඩිජිටල් අවුරුදු ලිත නවීන තාක්‍ෂණය ඔස්සේ නිර්මාණය කර ඇත.  පුළුල් ප්‍රේක්ෂක පිරිසකට මෙම ඩිජිටල් අවුරුදු ලිත වෙත ප්‍රවේශ විය හැකි අතර මෙමඟින් වසර ගණනාවක් පුරාවට සංස්කෘතික සිරිත් විරිත් සුරැකිව තබනු ඇති බවට සහතික කරයි.

ස්වදේශී කොහොඹ ඩිජිටල් අවුරුදු ලිත වෙත QR කේත විශේෂාංගය ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එය විස්තර සහිත ලිත් මාර්ගෝපදේශයක් වෙත පාරිභෝගිකයාව ගෙන යයි. මෙහි නැකැත් වේලාවන්, අවුරුදු කාලය හා සම්බන්ධ විවිධ සම්ප්‍රදායික ක්‍රියාකාරකම් පිළිබඳව සවිස්තරාත්මක ශ්‍රව්‍ය පට අන්තර්ගත වේ. මෙම ඩිජිටල් වේදිකාව ඔස්සේ නව පරපුර  ඔවුන්ගේ සංස්කෘතික  උරුමය හා එක්ව කටයුතු කිරීම, ඒ පිළිබඳව දැනුම හා අත්දැකීම් ලබා ගැනීම ඔස්සේ සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුගමනය කිරීමට දිරිමත් කරමින් පරම්පරා අතර පවතින දුරස් බව අවම කිරීමට කටයුතු කරයි.

“නව තාක්‍ෂණය භාවිතා කරමින් අපගේ සංස්කෘතික උරුමයන් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ස්වදේශී හි අපි විශ්වාස කළා. මෙම සම්ප්‍රදායික වටිනාකම්, සිරිත් විරිත් නව තාක්ෂණය සමඟ එක් කිරීම, නවෝත්පාදන සඳහා අපගේ කැපවීම තවදුරටත් තහවුරු කරනවා. වර්තමාන ඩිජිටල් යුගයේ අපගේ උරුමය අඛණ්ඩව සුරැකෙන බවත් මින් සහතික කරනවා“ යනුවෙන්, ස්වදේශී ඩිජිටල් අවුරුදු ලිත පිළිබඳව ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි,  අමරි විජයවර්ධන මහත්මිය පැවසුවාය.

සංස්කෘතිය සුරැකීමේ හා අගය කිරීමේ නව යුගයක් කරා යන ගමනේ, සම්ප්‍රදාය හා නවෝත්පාදනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, ස්වදේශී කොහොඹ ඩිජිටල් ලිත සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාවේ විචිත්‍රතම සංස්කෘතික මංගල්‍ය වන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම හා එක් වන ලෙස ස්වදේශී කර්මාන්තායතනය සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරයි. 

Views: 0