නීටා අම්බානි Noritake පිඟන් භාණ්ඩ මිලදී ගන්න පෞද්ගලික ගුවන් යානයෙන් ලංකාවට ඇවිත්

වර්තමානයේදී ඉන්දියාවේ මෙන්ම ආසියාවේද ධනවතා වන මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි 2010 වසරේදී සිය නිවසට අවශ්‍ය පිඟන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා තම පෞද්ගලික ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ සිදුවීම විදෙස් මාධ්‍ය යළිත් වරක් මතක් කරදෙයි.

පසුගියදා ලොව පුරා සුපිසිද්ධ චරිත රැසකගේ සහභාගිත්වයෙන් ඩොලර් මිලියන ගණනක් වියදම් කරමින් පැවැත් වුණු ඇගේ බාල පුතුගේ විවාහ මංගල්‍ය උත්සවය හේතුවෙන් අම්බානි පවුල සම්බන්ධයෙන් වැඩි කතාබහක් මතු වූ අතර, ඒ සමගින්ම දැනට වසර 14කට පෙරාතුවත් නීටා අම්බානි සතුව එවැනි වියදම් කිරීමේ හැකියාවක් පැවැති බව මෙම පිඟන් භාණ්ඩ මිලදී ගැනීමේ සිදුවීමෙන් යළිත් ඔප්පු කෙරෙන බව එම මාධ්‍ය පවසයි.

එම කාලසීමාවේදී ඉදිකිරීම් අවසන් කෙරුණු මහල් 40කින් යුත් අම්බානි පවුලේ දැවැන්ත මන්දිරය වන Antilia වෙනුවෙන් මෙම පිඟන් භාණ්ඩ මිලදී ගැනීමක් ඇය සිදු කර තිබෙන බව සඳහන් වෙයි. මෙහිදී ඇය සිය ස්වාමියාගේ මුදල් ඉතිරී කිරීමේ අදහසින් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ එම භාණ්ඩ මිලදී ගත් බවත් පැවසෙයි.

වාර්තා සඳහන් කරන ආකාරයට අලුතින් ඉදිකළ සිය මන්දිරය වෙත ඇය මිලදී ගැනීමට සැලසුම් කර ඇත්තේ සියවස් ගණනක් පැරණි සුප්‍රසිද්ධ ජපාන සන්නාමයක් වන Noritake පිඟන් භාණ්ඩයි. මෙම Noritake නිෂ්පාදන ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් මෙන්ම සුඛෝපභෝගී හෝටල් සහ ආපනශාලා තුළ වඩාත් ජනප්‍රිය සන්නාමයකි.

එහෙත් ඉන්දියාව තුළදී මෙම Noritake නිෂ්පාදන මිලදී ගැනීමට එක් රාත්‍රී ආහාර පිඟන් භාණ්ඩ කට්ටලයක් මිලදී ගැනීම සඳහා පමණක් ඩොලර් 800ත් 2000ත් අතර මුදලක් වැය වන බව ඇය ගණන් බලා තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළදී එම නිෂ්පාදනයම මිලදී ගන්නට තමන්ට වැය වන්නේ ඩොලර් 300ත් 500ත් අතර මුදලක් බව ඇයට මෙහිදී දැනගන්නට ලැබී ඇත.

ශ්‍රී ලංකාව තුළ ඒ වනවිටත් Noritake කර්මාන්තශාලාවක් පිහිටා තිබීම නිසා එවැනි මුදලකට එම නිෂ්පාදන මිලදීගත හැකි බවත්, ඉන්දියාව වෙත එම නිෂ්පාදන ආනයනයේදී පැවැති බදු හේතුවෙන් අධික මිලක් පැවති බවත් ඇය වටහා ගෙන ඇත.

ඒ අනුව නිටා අම්බානි කිලෝමීටර් 1500ක දුරක් ගෙවා සිය පෞද්ගලික ගුවන් යානයෙන් ලංකාවට පැමිණ Noritake සමාගමෙන්ම මෙම පිඟන් භාණ්ඩ කට්ටල මිලදී ගෙන තිබේ. වාර්තාවලට අනුව ඇය මෙහිදී Noritake සමාගමෙන් පිඟන් භාණ්ඩ 25,000ක් මිලදී ගෙන ඇති අතර, එක්වරකදී එම සමාගම අලෙවි කළ වැඩිම තොගය ලෙසින්ද මෙය සැලකුණි.

මෙහිදී එම සමාගම මගින් යම් කිසි වට්ටම් මුදලක්ද ඇය වෙත ලබා දෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඒ වාසියත්ද සමගින් ඉන්ධන වියදම් දරමින් ගුවන් යානයෙන් ලංකාවට පැමිණ මෙම භාණ්ඩ තොගය මිලදී ගැනීම හරහා ඇය මුකේෂ් අම්බානි වෙත අති විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර දුන් බවත් සඳහන් වෙයි.

අලුතින් ඉදි කළ සිය Antilia මන්දිරයේ භාවිතයට මෙන්ම දිවාලි උත්සවය සඳහා නිවසට පැමිණෙන අමුත්තන්ට තෑගි දීම සඳහා ඇය මෙලෙස Noritake නිෂ්පාදන මිලදී ගත් බව සඳහන් වෙයි. ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව අම්බානි පවුලේ මෙම Antilia මන්දිරය සඳහා දැරූ වියදම දෙවැනි වන්නේ බ්‍රිතාන්‍යයේ බකිංහැම් මන්දිරයට පමණකි.

1904 වසරේදී ජපානයේ නගෝයා පළාතේ නිපොන් ටොකේහිදී පිහිටුවුණු Noritake කර්මාන්තශාලාවේ ආරම්භකයා වන්නේ බාරොන් මොරිමුරා ය.  ජපානනේ නොරිටාකේ කම්පැනි ලිමිටඩ් සමාගම 1972 වසරේදී ලංකා පෝර්සිලේන් පෞද්ගලික සමාගම නමින් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කළේය. අනතුරුව එය නොරිටාකේ ලංකා පොර්සිලේන් බවට පත්විය.

Views: 0