IMF කණ්ඩායමක් අඟහරුවාදා මෙරටට එයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් ලබන අඟහරුවාදා (05) දිනයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. එම අරමුදලෙහි ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් විසින් පසුගියදා මේ පිළිබඳව අනාවරණය කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර පවතින මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනෙහි දෙවැනි විවරණය වෙනුවෙන් මෙම කණ්ඩායම මෙලෙස මෙරට වෙත පැමිණීමට නියමිතව තිබේ.

මෙම විවරණයට අදාළ කටයුතු ලබන මාර්තු 07 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එය මේ වසරේ පළමු අර්ධය අවසානයේදී සම්පූර්ණ කිරීමටත් එම අරමුදල බලාපොරොත්තුව සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති පීටර් බෘවර් මහතා, අද වනවිට ශ්‍රී ලංකාව සිය ආදායම් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් දියුණුවක් ලබා ඇති බවත්, බලශක්ති මිල ගණන් ඒවායේ පිරිවැය හා සමපාත කිරීමට සමත්ව ඇති බවත් පවසා සිටියි. එසේම රටෙහි සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් කිරීමට මෙන්ම බාහිර අවරෝධක පිහිටුවීමටක්, මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමටත්, දූෂණ වැළැක්වීම සහ රාජ්‍ය පාලනයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමටත් කටයුතු යොදා තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කරගෙන තිබෙන මෙම විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් වෙයි. ඒ අතරින් ඩොලර් මිලියන 670ක මුදලක් අදියර දෙකක් යටතේ දැනටමත් අනුමත කිරීමට එම අරමුදල කටයුතු යොදා ඇත.

Views: 0