වසරේ මුල් මාස දෙකේදී සංචාරක පැමිණීම් ලක්ෂ 4 ඉක්මවයි

2024 වසරේ පළමු මාස දෙක ඇතුළදී මෙරට වෙත සංචාරකයෝ 426,603 දෙනෙකු පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. ඒ අනුව ජනවාරි මාසයේදී සංචාරකයන් 208,253ක් සහ පෙබරවාරි මාසයේදී සංචාරකයන් 218,350ක් මෙලෙස මෙරට වෙත පැමිණ තිබේ.

පසුගිය 2023 වසරේ මුල් මාස දෙක තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 210,184ක් ලෙස සටහන්ව ඇත. එහිදී ජනවාරි මාසයේදී සංචාරකයන් 102,545ක් පැමිණ ඇති අතර, පෙබරවාරියේදී සංචාරකයන් 107,639ක් පැමිණ තිබේ.

මෙලෙස පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී පෙන්වා ඇති සංචාරක පැමිණීම් සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, පිට පිට මාස දෙකක් තුළ ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරක පැමිණීම් සිදුවීම සුවිශේෂ අවස්ථාවක් බව පවසා තිබේ.

සංචාරක සංවර්ධ අධිකාරියේ දත්ත අනුව පසුගිය 2023 වසර තුළ මෙරට වෙත සංචාරකයන් 1,487,303ක් පැමිණ තිබේ. ඒ අතරින් වැඩිම සංචාරකයන් පැමිණි මාසය වූයේ දෙසැම්බර් මාසයයි. එහිදී සංචාරකයන් 210,352 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

මේ අතර අමාත්‍යවරයා සඳහන් කර ඇති ආකාරයට වසරේ මුල් මාස දෙක තුළදී පමණක් මෙම සංචාරකයන් හරහා මෙරට වෙත ඩොලර් මිලියන 710ක ආදායමක් හිමිව ඇතැයිද ඇස්තමේන්තු කර තිබේ.

Views: 0