KANTAR Lanka ශ්‍රී ලාංකික GEN Z ප්‍රජාවේ තොරතුරු එළිදැක්වූ Kantar Lighthouse 2023

KANTAR Lanka සමීක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන්නට යෙදුනු KANTAR LIGHTHOUSE 2023, ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීමේ හමුවක් කොළඹ සිනමන් ලේක්සයිඩ්හි දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ “Generation Z (GEN Z) ප්‍රජාව” එනම් 1997–2012 අතර උපත ලද පරම්පරාවේ අවශ්‍යතා සහ හැසිරීම් රටා පිළිබඳ නවතම දත්ත එළිදක්වන ලදී. එම තොරතුරු සමස්ත ව්‍යාපාර සහ වෙළඳ සන්නාම කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව මෙහිදී ගැඹුරින් අවධානය යොමු කරන ලදී.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෙළඳ සන්නාමයන් නියෝජනය කරමින්, ප්‍රධානීහු විශාල පිරිසක් එක්ව සිටියහ. සම්භාවනීය අමුත්තන් ලෙස Kantar APAC හි ප්‍රධාන විධායක නිලධාරිනී – Leung Cheong Tai, Kantar South Asia- Insights හි විධායක කළමනාකරණ අධ්‍යක්ෂ, දීපේන්ද්‍ර රානා සහ Kantar South Asia විධායක කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

Kantar Sri Lanka ප්‍රධානී, හිමාලි මදුරසිංහ විසින් පාරිභෝගිකයින්ගේ පවතින හද ගැස්ම අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. එමෙන්ම මෑත කාලයේදී පෙර නොවූ සමාජ සහ ආර්ථික විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් මුහුණ දුන් විවිධ කටුක හා අමිහිරි වූ අත්දැකීම් ඇය මැනවින් පෙන්වා දුන්නාය. “මෙය ව්‍යාපාර සැලසුම් සහ ඒවායේ අපේක්ෂිත ඉලක්ක වෙත ළඟා වීම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනවා. ඇතැම් අංශයන් මෑතකදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළද පෙර තිබූ සාර්ථකත්වය වෙත ළඟා වීමට යම් කාලයක් ගත වනු ඇත.” යනුවෙන් ඇය සඳහන් කළාය.

හිමාලි මදුරසිංහ විසින් ජනගහන සංයුතිය වෙනස්වීමට සාපේක්ෂව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා ගැඹුරින් අවබෝධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

Gen Z සහ Gen Y ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50% ක් පමණ නියෝජනය කරයි. ඉන් අඩක් Gen Z වේ. Kantar හි ජාතික ජනගහන සහ ජීවන රටා සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ නිවාසවලින් 58% ක අවම වශයෙන් එක් Gen Z සාමාජිකයෙක් සිටියි. එම නිවාසවල භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ තීරණවලට ඔවුහු සැලකිය යුතු බලපෑමක් සිදු කරති. එපමණක් නොව ඔවුන් විසින් විවිධාකාර සාමාජයීය වෙනස්කම්වලටද විශාල දායකත්වයක් දක්වනු ලැබේ.

“විශේෂයෙන් ශ්‍රම බලකායට එක්වන Gen Z, සංකීර්ණ හැසිරීම් රටාවලින් යුතු පිරිසක් වේ. වෙළඳ සන්නාම සහ ඒවායේ හිමිකරුවන්, මෙම පරම්පරාව විසින් තම සේවා හා නිෂ්පාදන කෙරෙහි සිදු කළ හැකි බලපෑම් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ”. තවද ඇය විසින් මෙම සියුම් ගති පැවතුම් පිළිබඳ පුළුල් අවබෝධයක් වෙළඳ ප්‍රජාවට ලබා දීම සඳහා Kantar සමාගමේ කැපවීම සහ කාර්යභාර්ය අවධාරණය කළාය.

ප්‍රධාන විධායක නිලධාරීනි, Kantar APAC – Leung Cheong Tai, පැමිණ සිටි පිරිස සමඟ තම අත්දැකීම් බෙදා ගනිමින් , APAC කලාපයේ ප්‍රචලිත ප්‍රවණතා තුනක් පිළිබඳව දැනුවත් කළාය. ඇය කෙටි පැහැදිලි කිරීමක් සමඟ අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි යමක් කිරීම, අනාගත අවශ්‍යතා පෙරදැරි කර ගත් සන්නාමයන් ගොඩනගා ගැනීම, යහපත් ක්‍රියා මාර්ග තුළින් සාර්ථකත්වය අත් කර ගැනීම යන ප්‍රවණතා පිළිබඳ ගෙන හැර දැක්වූවාය.

Kantar Insight හි දකුණු ආසියාවේ විධායක කළමනාකාර අධ්‍යක්ෂ – දීපේන්ද්‍ර රානා, “KANTAR සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) – ඉදිරි දැක්ම” යන මැයෙන් වෙළඳ සමික්ෂණ සඳහා තම සමාගම කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව හරවත් ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කළේය. එහිදී කෘත්‍රිම බුද්ධිය මගින් මානව හැකියාවන් වැඩිදියුණු කරන නව චින්තනයක් ඇති වන ආකාරයද ඔහු විස්තර කළේය.

GEN Z – Unravelled යන තේමාව යටතේ ෂෙවානි සේනානායක සහ නුවනි ජයසූරිය විසින් ශ්‍රී ලාංකික GEN Z ප්‍රජාවේ නවතම තොරතුරු එළිදැක්මක් සිදු කරන ලදී. “අප මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 15ත් 26ත් අතර පිරිස වෙත විශේෂ අවධානය යොමු කරන ලැබුවා. මෙම පිරිස ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සමාජ සම්මතයන්වලට බලපෑම් ඇතිකරනු ලබන පුරෝගාමීහු වෙති” යනුවෙන් ඔවුහු එහිදී පවසා සිටියහ.

Views: 0