එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කොළඹ කොටස් හුවමාරුව හැරයාමට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ප්‍රධානතම සමාගමක් වන එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම (EXPO.N0000) එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පවසයි.

දැනටමත් එම සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවන් විසින් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත්, අද දිනයේදී පැවැති සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ඒ පිළිබඳව අවධානය යොමු කෙරුණු බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙලෙස එම සමාගම කොළඹකොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ තීරණය සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු කොටස් හිමිකරුවන්ගේ සහ නියාමන අධිකාරියේ අනුමැතීන් අනුව සිදුවනු ඇති බවත් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි ප්‍රධානතම කොටස් හිමිකරුවා වන SG Holdings Global Pte Ltd. සමාගම අනෙකුත් සියලුම කොටස් හිමිකරුවන් සතු කොටස් මිලදී ගැනීමට කටයුතු කරනු ඇති බවත් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දැනුම් දී ඇත. මෙහිදී එක් කොටසක් රුපියල් 185.00ක මුදලක මිලදී ගැනීමට කටයුතු කරනු ඇති බවත් පැවසෙයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා වන අතිවිශේෂ මහා සභා රැස්වීම ලබන මාර්තු 27 වැනිදා පස්වරු 4.00ට වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයිද සමාගම පවසා සිටියි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 150.50ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ පැවැති රුපියල් 147.75ට සාපේක්ෂව රුපියල් 2.75ක එනම් 1.86%ක වටිනාකම් ඉහළ යාමකි.

Views: 0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *