“වැටුප් වැඩි කළේ වෘත්තීය සමිති අතර වසර තුනක එකඟතාවකට අනුවයි” – මහ බැංකුව  

මෙරට මාධ්‍ය තුළ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරත් කතාබහක් මතුව තිබෙන මහ බැංකුවෙහි සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ තීරණය, මහ බැංකුවෙහි පාලක මණ්ඩලය විසින් ලබාදුන් අනුමැතියක් යටතේ සිදු වූවක් බව මහ බැංකුව අද දිනයේදී නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

ඒ අනුව මහ බැංකු පාලක මණ්ඩලය සහ මහ බැංකුවෙහි වෘත්තීය සමිති සංවිධාන අතර වසර 2024-26 කාලය ආවරණය වන පරිද්දෙන් පැමිනුණු ත්‍රෛවාර්ෂික සාමුහික එකඟතාවක් යටතේ මෙම වැටුප් වැඩි කිරීම අනුමත කිරීමට කටයුතු යොදා ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම පියවරින් පසුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, මහ බැංකුවෙහි පාලක මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි 21 වැනිදා පැවැත් වූ හමුවකින් අනතුරුව මහ බැංකු අධිපතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස පවසා තිබේ.

මෙය මහ බැංකුව පාර්ලිමේන්තුව හා සන්නිවේදනය කරන සාමාන්‍ය ක්‍රමවේදය වන බවත්, මේ හරහා සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත අදාළ වැටුප් වැඩි කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳව දැනුවත් කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් කටයුතු කරනු ඇති බවත් පැවසෙයි.

මහ බැංකු අධිපතිවරයා විසින් පෙබරවාරි 22 වැනිදා ලිඛිතව මේ පිළිබඳව යෝජනාව මුදල් ඇමතිවරයා වන ජනපතිවරයා වෙත ලබාදී ඇතැයිද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම වැටුප් වැඩි කිරීම මගින් මහ බැංකුවෙහි කාර්යාල කාර්ය සහායකවරයෙකුගේ සිට මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා දක්වා ලෙස 70%කට ආසන්න වැටුප් වැඩි කිරීමක් සිදුව තිබුණි.

Views: 0