දේශීය මත්පැන් නිෂ්පාදකයන්ටත් තීරුබදු රහිත සාප්පු වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට අවධානය

දේශීය මත්පැන් නිෂ්පාදකයන් නිපදවන මත්පැන් නිෂ්පාදන තීරුබදු රහිත සාප්පු සංකීර්ණ තුළ අලෙවි කිරීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැති 23 වැනි අපනයනකරුවන්ගේ සංසදය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

ඒ අනුව අදාළ කටයුත්ත සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සඳහා වන අනුමැතීන් සහ සංශෝධනයන් සිදු කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මෙම හමුව සඳහා එක්ව සිටි ලයන් බෘවරි (සිලෝන්) පීඑල්සී සමාගමේ නියෝජිතයන් විසින් මෙම කරුණ මතු කර ඇති අතර, අද වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය නගරයද ඇතුළු තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍ර පවතින කිසිදු ස්ථානයනකදීවත් දේශීයව නිපදවන මත්පැන් අලෙවිය සඳහා අවසරයක් ලැබී නොමැති බවත් පෙන්වා දී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති දිලුම් අමුණුගම මහතා, “අනෙක් සෑම රටක්ම තමන්ගේ දේශීය නිෂ්පාදන මෙවැනි තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍ර තුළ අලෙවියට තබා තිබෙනවා. අපිත් එය කළ යුතුයි. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලෙස අපි එයට මැදිහත් වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙලෙස එවැනි පරිශ්‍ර තුළ දේශීය මත්පැන් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව මාධ්‍ය සඳහන් කරයි. සුරාබදු දෙපාර්තමේන්තුවට අනුව ඒ සඳහා වන නිර්දේශ දැනටමත් මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබේ. එහෙත් මෙම කාරණාව සම්බන්ධයෙන් එවැනි නිර්දේශ පිළිබඳව තමන් දැනුවත්ව නොමැති බවත් එම දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

Visits: 55