ජෝන් කීල්ස් සමූහයේ ‘පාසල් දිරිය’ පෝෂණ වැඩසටහනට වසරක් සපිරේ

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහය අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී දියත් කළ ‘පාසල් දිරිය’ පෝෂණ වැඩසටහනට වසරක් සපිරෙන බව එම සමූහය පවසයි.

පසුගිය වසරේ ලෝක ළමා දින සැමරීමක් වශයෙන් 2022 ඔක්තෝබර් 03 දින නිල වශයෙන් මෙම වැඩසටහන දියත් කෙරිණි. ඒ අනුව පසුගිය වසරක කාලය තුළ දිවයින පුරා දරුවන් දහස් ගණනකට සෙත සැලසූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වූ බව සමූහය සඳහන් කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ මුල් කාලයේදීම ජෝන් කීල්ස් සමූහය විසින් සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය සහ ජීවනෝපාය මාර්ග සංවර්ධනය යන ප්‍රධාන අංශ තුන යටතේ බහුවිධ අර්බුද ප්‍රතිචාර වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාවට නංවන ලදි.

මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම විසිනි. ජෝන් කීල්ස් සමූහයට අයත් Ceylon Cold Stores (Elephant House), Cinnamon Hotels & Resorts, Jaykay Marketing Services (Keells) සහ John Keells Properties යන සමාගම් ඊට සක්‍රීය ලෙස දායක විය.

මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ, හුදෙක් දරුවන්ට පෝෂණීය ආහාර ලබා දීමෙන් නොනැවතී, පාසලට පැමිණීමට ඔවුන් දිරිගැන්වීම, අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ඔවුන් යොමුකරවීම සහ සමස්තයක් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීම ය.

එමෙන්ම තම මහජන දායකත්ව අරමුදල් (Crowd funding) පදනම හරහා පාරිභෝගිකයන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලබාගැනීමෙන් මෙන්ම, තම ප්‍රධාන හවුල්කරුවෙකු වන සර්වෝදය ඇතුළු විවිධ හවුල්කරුවන්ගේ සහයෝගය සමගින් තම ‘Keells ළමා පෝෂණ වැඩසටහන’ තවදුරටත් ශක්තිමත් කිරීමට කීල්ස් සමාගමට හැකියාව ලැබිණි.

ආරම්භයේ සිට මේ දක්වා මෙම පෝෂණ වැඩසටහන නැගෙනහිර, දකුණ සහ බස්නාහිර යන පළාත්වල තෝරාගත් පාසල් 12 ක පාසල් හා පෙරපාසල් දරුවන් මෙන්ම මධ්‍යම, උතුරු මැද, වයඹ, සබරගමුව, දකුණු සහ බස්නාහිර යන පළාත්වල පෙර පාසල් 34 ක දරුවන් 4,187 දෙනෙකු සඳහා ආහාර වේල් 469,812 ක් ලබා දී ඇත. මීට අමතරව දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර පිළියෙල කිරීම පහසු කිරීම සඳහා පාසල් 10 ක නිසි පහසුකම් සහිත මුළුතැන්ගෙවල් ඉදිකිරීම සහ ප්‍රජා උද්‍යාන 31 ක් ස්ථාපිත කිරීම ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා මේ දක්වා ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 52 ඉක්මවයි.

මෙම වැඩසටහන තිරසාර ලෙස පවත්වාගෙන යාම සහ ඉදිරියේදීත් දරුවන්ට අඛණ්ඩව පෝෂ්‍යදායී ආහාර ලැබෙන බව තහවුරු කර ගැනීම සඳහා ජෝන් කීල්ස් පදනම මේ වනවිට පියවර රැසක් ගෙන ඇතැයිද පවසයි.

Visits: 28