ශ්‍රී ලංකාව ජාතික අපනයන උපායමාර්ගය යාවත්කාලීන කරයි

ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය සඳහා සැලකිය යුතු පියවරක් ලෙස පවතින අපනයන උපායමාර්ගික සැලැස්ම (ජාතික අපනයන උපායමාර්ගය 2018-2022) යාවත්කාලීනකිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන මෙම වැඩපිළිවෙල සදහා ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයෙන් (ITC) තාක්ෂණික සහාය ලබාගෙන ඇත.

ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) වෙළඳ උපාය මාර්ග සහ තරඟකාරිත්වය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරි චාල්ස් රොබර්ජ් මහතා මෙහි කටයුතු සඳහා ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 18 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.මෙම සංචාරයේදී ITC විශේෂඥයාට රජයේ සංගම්, මණ්ඩල, උපදේශක කමිටු සහ ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ජා කිරීමට ද අවස්ථාව ලැබුණි.

තොරතුරු තාක්ෂණය, සැකසූ ආහාර සහ පාන වර්ග, විදුලි හා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, බෝට්ටු ගොඩනැගීම, සුවතා සංචාරක ව්‍යාපාරය, කුළුබඩු සහ සාන්ද්‍රණය යන ප්‍රධාන අංශ හයක් සංවර්ධනය සඳහා හඳුනා ගැනීමත් සමඟ ජාතික අපනයන උපාය මාර්ගය සකස්කිරීම සඳහාබ 2017 දී අවකාශය හිමිවිය.

නැඟී එන නිෂ්පාදන සහ සේවා අංශ ශක්තිමත් කිරීමට පහසුකම් සපයන මෙම උපාය මාර්ගික සැලැස්ම, අපනයන විවිධාංගීකරණය කිරීම සහ පරිණත නිෂ්පාදන අංශවල තිරසාර බව සහතික කිරීම ද අරමුණු කර ඇත. එම සැලැස්ම 2018-2022 කාලසීමාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කළ අතර ‍එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

ඒ අනුව ජාතික අපනයන උපායමාර්ග සැලැස්මේ වර්තමාන මුලපිරීම් මගින් අපේක්ෂා කරනු ලබන්නේ සමකාලීන වෙළඳපල අභියෝග සමඟ සමපාත කිරීමට සහ නැගී එන අවස්ථාවන් උපයෝගී කර ගනිමින් වෙළඳ හා ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස රටෙහි සංවර්ධන ක්‍රියාවලිය වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් වේගවත් කිරීමයි.

එය අපනයන සංවර්ධනය සඳහා ශ්‍රි ලංකාවේ ඉදිරි මාර්ග සිතියම වනු ඇත, එබැවින් ජාතික අපනයන උපායමාර්ග සැලැස්ම ක්‍රියාත්මක කරන සියලුම ආයතන පූර්ණ කැපවීමෙන් තම වගකීමි ක්‍රියාත්මක කළ යුතුය.\

Visits: 45