ගාසා රෝහලට එල්ල වූ ප්‍රහාරයත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සීඝ්‍ර ඉහළයාමක

පලස්තීනයට අයත් ගාසා තීරයේ පිහිටි රෝහලක් වෙත ඊයේ එල්ල වූ ඊශ්‍රායල මිසයිල ප්‍රහාර හේතුවෙන් එහි සිටි 500 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමගින්ම අද පෙරවරුව වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල 2%කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 91.52ක් දක්වා 1.8%කින්ද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.49ක් දක්වා 2.11%කින්ද ඉහළ නැග තිබේ.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කරුවන් අතර මෙම යුද ගැටුම් ඇතිවී මේ වනවිට දින 12ක් සම්පූර්ණවී ඇතත්, ගත වූ දින කිහිපයේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම මන්දගාමීව සිදු විය.

කෙසේ වෙතත් ගාසා හි රෝහල වෙත එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරයත් මගින්ම මෙම යුද ගැටුම් වඩාත් දරුණු මාවතකට පිවිසීමේ අවදානමක් මතුව තිබීම මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සීඝ්‍ර ඉහළයාමකට හේතුව වී තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

විශේෂයෙන්ම මෙම ප්‍රහාරයත් සමගින්ම අද දිනයේදී ජෝර්දානයේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ පලස්තීන ජනපති මොහොමඩ් අබ්බාස්, ඊජිප්තු ජනාධිපති ෆටාහ් අල් සිසි යන රාජ්‍යයන් අතර හමුව අවලංගු කිරීමට ජෝර්දානය පියවර ගෙන තිබේ. මෙහිදී ජෝර්දානයේ අබ්දුල්ලා රජු ගාසා රෝහල් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත චෝදනා එල්ල කර තිබේ.

මේ අතර ඊශ්‍රායල-හමාස් යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.

මේ වනවිට සෞදී අරාබිය සහ රුසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනයද ස්වේච්ඡාවෙන්ම කප්පාදුවට ලක් කර සිටියි. ලෝක වෙළෙඳ පොළ තුළ බොරතෙල් සඳහා හොඳ මිලක් ලබා ගැනීම එහි අපේක්ෂාව වී තිබේ.

Visits: 76