ලංකා හොස්පිටල්ස්හි රජය සතු කොටස් මිලදී ගැනීමට අභිලාශ කැඳවෙයි – කොටසක මිලත් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත, රජයට අයත් ව්‍යවසායක් වන ලංකා හෝස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී (LHCL.N0000) සමාගමෙහි රජය සතු කොටස් මිලදී ගැනීම සඳහා වන අභිලාෂ ප්‍රකාශ කිරීම (EOI) සඳහා අවස්ථාව ලබාදී ඇතැයි එම සමාගම සඳහන් කරයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත යැවූ ලිපියක් මගින් එම සමාගම මෙම කරුණු පවසා තිබේ.

ඒ අනුව අද, එනම් ඔක්තෝබර් 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කොටස් මිලදී ගැනීම සඳහා අභිලාශය ප්‍රකාශ කිරීම සඳහා ආරාධනා කරමින් දේශීය සහ ජාත්‍යන්තර පුවත්පත් සහ සඟරා තුළ දැන්විම් පළ කිරීමක් සිදු කරන බවත් සඳහන් වෙයි.

මෙහිදී රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය මගින් මෙම දැන්වීම් සහ නිවේදන නිකුත් කරනු ඇති බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් මේ වසරේ මාර්තු මාසයේදී ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී වෙත ලබාදුන් දැනුම්දීමකට අනුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එම සමාගම තුළ රජය සතුව ඇති කොටස් අත්හරින ලෙස උපදෙස් ලබාදී තිබුණි.

මේ අතර මෙම අභිලාෂ කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමත් සමගින්ම අද දිනයේදී ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ කොටසක මිල රුපියල් 115.75ක් දක්වා පෙර දිනට සාපේක්ෂව රුපියල් 3.25කින් එනම් 2.89%කින් ඉහළ නැග තිබේ. ඊයේ ගනුදෙනු නිමාවේදී කොටසක වටිනාකම රුපියල් 112.50ක් ලෙස සටහන්ව තිබුණි.

2023 මැයි මාසය අවසන් වන විට ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සීහි කොටස් හිමිකාරීත්වයෙන් 28.66%ක් fortis Healthcare International Pte Ltd. සමාගම වෙත හිමිව තිබුණි. එසේම පිළිවෙලින් 26.27%ක සහ 25.07%ක කොටස් ප්‍රතිශතයක් එනම් 51.34%ක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත රක්ෂණ අරමුදලට සහ සාමාන්‍ය රක්ෂණ අරමුදලට හිමිව තිබේ.

Visits: 125