ශ්‍රී ලංකාවට දෙවැනි IMF ණය වාරිකය ලබා ගැනීමේ අවස්ථාව හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර පවතින විස්තීර්ණ අරමුදල් පහසුකම් එකඟතාව යටතේ ලබාදීමට නියමිතව තිබූ දෙවැනි ණය වාරිකය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇතැයි එම අරමුදල පවසයි.

මෙම ණය පහසුකම් එකඟතාවට අදාළව එම අරමුදලේ නියෝජිතයන් මගින් කොළඹදී සිදුකළ පළමු සමාලෝචනයෙන් සහ පසුගියදා මොරොක්කෝවේ මරකේෂ්හිදී පැවැත්වුණු IMF ලෝක බැංකු වාර්ෂික රැස්වීම අතරතුර ශ්‍රී ලංකාවේ බලධාරීන් සමගින් පැවැති ඵලදායී සාකච්ඡාවලින් අනතුරව මෙම තීරණය ගෙන ඇතැයි සඳහන් වයෙි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කරන ලද ජ්‍යෙෂ්ට දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් සහ නියෝජ දූත මණ්ඩල ප්‍රධානී කට්සිරියානා ස්වර්යඩ්සෙන්කා යන දෙපළ විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන්අනතුරුව ශ්‍රී ලංකාවට විදේශ ගැනුම් හිමිකම් මිලියන 254ක් එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් සඳහා ප්‍රවේශය ලැබෙනු ඇති. ඒ අනුව මෙම පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත අරමුදල් ප්‍රමාණය විදේශ ගැනුම් හිමිකම් මිලියන 508ක් එනම් ඩොලර් මිලියන 660ක් පමණ වනු ඇත.” යනුවෙන් එහි සඳහන් වෙයි.

මෙහිදී සියලුම පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාවට නැංවීම සහ වැඩසටහනේ ණය ඉලක්කවලට අනුකූලව සහ කාලානුරූපීව ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වනු ඇති බවට විශ්වාසයක් ඇති කෙරෙන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න තහවුරු කිරීම ඇතුළත් වන මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම මත මෙම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා වන ඉදිරි කාලසීමාව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇතැයි එම අරමුදල පවසයි.

මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ එම අරමුදලෙහි විධායක මණ්ඩලය මගින් 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සඳහා විදේශ ගැනුම් හිමිකම් බිලියන 2.3ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 3ක් පමණ අනුමත කෙරිණි. ඒ අනුව ඊට අදාළ පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට හිමි විය.

Visits: 89