දේශමාන්‍ය ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

සෙලින්කෝ සමූහ ව්‍යපාරය ඇතුළුව ව්‍යාපාර රැසකම නිර්මාතෘවරයා වූ ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වෙයි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට කොතලාවල මහතා 84 හැවිරිදි වියේ පසුවිය.

1938 වසරේදී උපත ලැබූ ලලිත් කොතලාවල මහතා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජස්ටින් කොතලාවල මහතාගේ පුත්‍රයා වෙයි. එසේම ලංකාවේ තෙවැනි අගමැතිවරයා වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ බෑණා ලෙසද ලලිත් කොතලාවල මහතා සැලකෙයි.

සිය පියා ආරම්භ කළ සෙලින්කෝ කොන්සොලිඩේටඩ් සමාගම් පාලනය 1960 දශකයේදී තමන් භාරයට ගත් ලලිත් කොතලාවල මහතා එම ව්‍යාපාරික කටයුතු බැංකු, බැංකු නොවන මූල්‍ය, ආයෝජන බැංකු, ක්ෂුද්‍ර මූල්‍ය, නිවාස සහ දේපළ සංවර්ධනය, සංචාරක, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළුව තවත් ක්ෂේත්‍ර රැසක් වෙත පුළුල් කළේය. ඒ අනුව වරෙක ඔහු ලංකාවේ අංක එකේ ධනවතා බවටද පත්විය.

ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු ගෝල්ඩන් කී සමාගමේ ඇතිවූ තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 26ක මුදල් වංචාවට අදාළව හටගත් තත්ත්වයත් සමගින්ම ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඔහු වැරදිකරුවා බවට පත් කෙරිණි.

මෙම කාලසීමාවේදී ඔහුගේ ව්‍යාපාර සියල්ලම කඩාවැටීමට ලක් වූ අතර, ඇතැම් ව්‍යාපාර රජය වෙත පවරා ගැනු ලැබුණි. එසේම මෙම වංචාව සම්බන්ධයෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු අනතුරුව නිවාස අඩස්සියට පත් කෙරිණි. මේ අතර කාලයේදී කොතලාවල මහතා සිය වත්කම් අලෙවිකරමින් අදාළ තැන්පත්කරුවන්ගේ මුදල් ආපුස ගෙවීමටද කටයුතු කළ බව පැවසෙයි.

මෙරට ආර්ථිකය සහ ව්‍යපාර වෙත ලබාදුන් දායකත්වය වෙනුවෙන් කොතලාවල මහතා දේශමාන්‍ය යන ගෞරව නාමයෙන්ද පිදුම් ලබා තිබේ.

Visits: 93