යුනියන් බැංකුවේ 70%ක් CG Capital Partners Global වෙත විකිණීමට මුදල් මණ්ඩලයේ අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත, මහබැංකුවෙහි ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකු (යුනියන් බැන්ක් ඔෆ් කලම්බෝ පීඑල්සී) සමාගම (UBC.N0000) මිලදී ගැනීම සඳහා CG Capital Partners Global Pte.Ltd සමාගම ඉදිරිපත් කර තිබූ යෝජනාව වෙත අනුමැතිය ලබාදීමට මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය පියවර ගෙන ඇතැයි පවසයි.

1988 වසරේ අංක 30 දරණ බැංකු පනතේ වගන්ති 12 (1C) යටතේ මෙම අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව ලැයිස්තුගත සමාගමක් ලෙස යුනියන් බැංකුවද සිය ලැයිස්තුගතවීමේ රෙගුලාසි අංක 08 යටතේ මෙම අනාවරණය කර සිටියි.

මෙම CG Capital Partners Global Pte.Ltd සමාගම නේපාලයේ අංක එකේ ධනවතා වන බිනෝද් චෞද්රි මහතාට අයත් CG Corp Global සමාගමට අයත් ආයෝජන අරමුදල ලෙස සැලකෙයි.

2022 දෙසැම්බර් මාසයේදී එම සමාගම පළමුවරට යුනියන් බැංකුවෙහි කොටස් මිලදී ගැනීමක් පිළිබඳව සිය යෝජනාව ඉදිරිපත් කළේය.

එහිදී යුනියන් බැංකුවෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය සහිත Culture Finance Holding Ltd. සමාගම සතුව තිබූ කොටස් 767,558,888ක් එනම් 70.84%ක ප්‍රතිශතයක් මෙලෙස අලෙවි කරන බව සඳහන් විය.

මෙම CG Capital Partners Global Pte.Ltd සමාගම සිංගප්පූරුවෙහි ලියාපදිංචි සමාගමකි. එහි ලිපිනය වන්නේ අංක 10 ඇන්සන් මාවත, #38-07 ඉන්ටර්නැෂනල් ප්ලාසා, සිංගප්පූරුව යන්නයි.

යුනියන් බැංකුවෙහි මෙම කොටස් හිමිව තිබූ Culture Finance Holding Ltd. සමාගමද සිංගප්පූරුවෙහි ලියාපදිංචි සමාගමක් වන TPG Asia SF Pte. Ltd වෙත අයත් සමාගමකි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදු වූ පසුගිය සිකුරාදා දිනයේදී යුනියන් බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 11.10 ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 11.20ට සාපේක්ෂව ශත 10ක එනම් 0.89%ක පසුබැසීමකි.

Views: 241