හේලීස් වැවිලි සමාගම The Pekoe Trail සමඟ එක්වෙයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ හේලීස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන හේලීස් වැවිලි සමාගම, රටේ සංචාරක ක්ෂේත‍්‍රය යළි නඟාසිටුවීම අරමුණු කරගත් දුරදර්ශී තිරසාර මුලපිරීමක් වන ‘’The Pekoe Trail’’ සමඟ අත්වැල් බැඳගෙන ඇත.

හේලීස් වැවිලි සමාගමට අයත් ප‍්‍රධාන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) තුනක් වන කැලණිවැලි වැවිලි සමාගම (KVPL), තලවකැලේ වැවිලි සමාගම (TTEL) සහ හොරණ වැවිලි සමාගම (HPL) ශ‍්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 4.6%ක් නියෝජනය කරයි.

Pekoe Trail ඔවුන්ගේ හොඳම තේ වතු 44න් 6ක් හරහා ගමන් කරන අතර මෙම තේ වතු සුන්දර මධ්‍යම කඳුකරයේ නීල හරිත වටපිටාවක පිහිටා ඇත. මෙම වැඩසටහන Ceylon Tea (සිලෝන් ටී) නාමය ලොවට ගෙනයාමට කදිම මාර්ගයකි.

”අපගේ සහයෝගිතාවයේ අරමුණ වන්නේ සැමට තිරසාර වටිනාකමක් ඇති කරමින් අපගේ ජාතිය යළි නඟාසිටුවීමයි. Ceylon Tea නාමයෙහි අනාගතය රඳා පවතින්නේ පරිසරය ආරක්ෂා කිරීම සහ ඊට සම්බන්ධ සියලූ දෙනාගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන නව සහ තිරසාර වර්ධන අදහස් මත බව අපි තරයේ විශ්වාස කරනවා. මෙම හවුල්කාරිත්වය තිරසාර සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් වූ හේලීස් වැවිලි සමාගමෙහි කැපවීම පිළිබඳ සාක්ෂියක්. එමෙන්ම මෙම සංචාරයට සහභාගි වන සංචාරකයින් වෙනුවෙන් අපි විශේෂ සංස්කෘතික අත්දැකීමක් තිළිණ කිරීමට කටයුතු කර තිබෙනවා.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

ශ‍්‍රී ලංකාව විශිෂ්ට තේ සඳහා කීර්තිමත් නාමයක් දිනා ඇති අතර, සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි. මෙම සංචාරයට සහභාගිවන්නන්ට අපගේ තේ කර්මාන්තය පිළිබඳව ඉගෙනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවන අතර තිරසාර හා නව්‍ය අත්දැකීමක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් නිර්මාණය කරයිThe Pekoe Trail හි තිරසාරත්වය කේන්ද්‍ර කරගත් සැලසුම හේලීස් වැවිලි සමාගමෙහි “slow tourism” දර්ශනය සමඟ මනාව සමපාත වේ. එයට සංස්කෘතිය සහ තිරසාරත්වය අත්විදීමට හැකි පරිදි විවේකීව ගමන් කිරීම යන සංකල්පය  ඇතුළත් වේ. තේ කොටස් 22 ක් හරහා කිලෝමීටර් 300 ක දුරක් ආවරණය වන පරිදි ඇවිදිමින් සංචාරකයින්ට සුන්දරත්වය උකහාගැනීමට සලස්වනු ලබන අතර එය සෘණාත්මක පාරිසරික බලපෑම අඩු කිරීමට ද උපකාරී වේ. 

මෙම ආකර්ෂණීය අත්දැකීම අත්විඳීමට නරඹන්නන්ට අස්වැන්න නෙළන්නන් සමඟ තේ දළු නෙලීම, පළපුරුදු තේ වතුකරුවෙකු විසින් මෙහෙයවන කර්මාන්තශාලාව නැරඹීම සහ නැවුම් තේ රස බැලීමේ අත්දැකීම ඇතුළුව තේ දල්ලේ සිට තේ කෝප්පය දක්වා ක‍්‍රියාවලිය දැක බලා ගැනීමට ඉඩ සලසයි. ප‍්‍රධාන ස්ථානවල තේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, වෙහෙසට පත්වන්නන්ට නීල හරිත තේ වතු මැද හොඳම ප‍්‍රමිතියේ කෝප්පයක් රස විඳීමට අවස්ථාවක් ලබා දේ. එමෙන්ම මෙම සංචාරය අතරතුරදී සංචාරකයින්ට සුඛෝපභෝගී වතු බංගලාවල සිට සුවපහසු කබානා දක්වා තෝරාගත හැකි පරිදි නවාතැන් පහසුකම් ලබා දෙන අතර ඒවා අති රමණීය ස්ථාන වල පිහිටා ඇත.

”Pekoe Trail හරහා සංචාරකයින් අඩුවෙන් සංචාරය කරන ස්ථාන කරා ගෙන යන අතර ඒ තුළින් ආර්ථික ප‍්‍රතිලාභ අත්කරගන්න පුළුවන්. වතු ආශ‍්‍රිත ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ට මෙම සංචාරය ඔස්සේ පැන නගින සංචාරක අවස්ථා වලින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ද හැකි වෙනවා.” යනුවෙන් රාජදුරෙයි මහතා තවදුරටත් පැවසීය.

Visits: 132