ආසිරි හොස්පිටල් සමග එක්ව පොර්ට්සිටියේ රෝහල් ව්‍යාපෘතිය අරඹන Mayo Clinic කොළඹ වරාය නගරයට

සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය අධ්‍යාපන සහ සෞඛ්‍ය පර්යේෂණ හා සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Mayo Clinic සමාගමේ කණ්ඩායමක් පසුගියදා කොළඹ වරාය නගරය නිරීක්ෂණයකට පැමිණි බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති දිනේෂ් වීරක්කොඩි මහතාගේ  ආරාධනාවකට අනුව මෙම කණ්ඩායම මෙලෙස කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත වී තිබේ.

මෙරට ප්‍රමුඛතම රෝහල් ජාලයක් වන ආසිරි හොස්පිටල් සමාගම කොළඹ  වරාය නගරය තුළ පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති ආසිරි රෝහල සඳහා ව්‍යාපාරික හවුල්කාරීත්වය ඇති කරගැනීමට සූදානමින් සිටින්නේද මෙම Mayo Clinic සමාගම සමගයි.

ඒ අනුව ආසිරි හොස්පිටල්ස් සමූහය අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සභාපති අශෝක් පතිරගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

කොළඹ වරාය නගරය තුළ රොහල් සේවාවන් සඳහා වෙන්කර ඇති භූමියෙහි මෙම රෝහල ඉදිකිරීම සැලසුම වී තිබේ. දැනටමත් ඒ සඳහා වන සමාගම Asiri Port City Hospital (Pvt) Ltd ලෙස පිහිටුවාගෙන තිබේ.

ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ආසිරි පෝට් සිටි හොස්පිට්ල් (පුද්ගලික) සමාගම අතර අත්සන් තබා තිබේ.

මෙම රෝහල හරහා කොළඹ වරාය නගරය පදනම් කරගත්, ඒකාබද්ධ සායනික පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ තුළින් සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සැලසුම් කර ඇත. එසේම නවීන සෞඛ්‍ය ආරක්ෂණ විසඳුම් සහ අද්විතීය රෝගී සත්කාර සේවා සැපයීම සඳහාද එම සමාගම සූදානමින් සිටියි.

Views: 196