ලිබියානු ගංවතුරත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ දිනයේ සිට සීඝ්‍ර ලෙස ඉහළයමින් පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව අද පෙරවරුව වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඩොලර් 0.19කින් එනම් 0.21%ක ඉහළ යාමක් ලෙස සටහන්ව තිබේ. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.06ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඩොලර් 0.23 කින් එනම් 0.26% ක ඉහළ යාමකි.

මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් ඉක්මවීම පසුගිය නොවැම්බර් මාසයට පසුව සිදුවීම විශේෂත්වයක් ගෙන තිබේ. එසේම WTI බොරතෙල් බැරලයක මිලද මාස 11කට පසුව ඉහළම අගයකට පත්ව තිබේ.

මෙහිදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළයාම සඳහා මූලිකම හේතුව වී ඇත්තේ සෞදි අරාබිය සහ රුසියාව සිය බොරතෙල් සැපයුම් කප්පාදුව මෙම වසර අවසානය දක්වා දීර්ඝ කිරීම බව සඳහන් වෙයි.

මේ අතර පසුගිය සති අන්තයේදී ලිබියාව වෙත බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ  දරුණු ගංවතුරද ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාමට ආසන්නතම හේතුවක් වී තිබේ. ඔපෙක් සාමාජික රාජ්‍යයක්ද වන ලිබියාවේ මෙම ගංවතුර හේතුවෙන් එරට බොරතෙල් අපනයනයට තාවකාලිකව බාධා එල්ල වන බවත් සඳහන් වෙයි.

ඔපෙක් සංවිධානයට අනුව පසුගිය අගෝස්තු මාසය වනවිට ලිබියාව දිනකට බොරතෙල් බැරල් මිලියන 1ක ප්‍රමාණයක් නිපදවා තිබේ.

Views: 80