නැගෙනහිර පළාතේ මත්ස්‍ය ආහාර සහ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තශාලාවක් සඳහා දකුණු කොරියා ආයෝජකයෙකු අවධානය

මෙරට තුළ මත්ස්‍ය ආහාර හා මත්ස්‍යයන් ආශ්‍රිතව සිදු කරනු ලබන ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙන්ම ධීවර බෝට්ටු නිෂ්පාදන කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා වන ආයෝජනයකට දකුණු කොරියානු ආයෝජකයෙකු කැමැත්ත පළ කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

කංග් නමින් හැඳින්වෙන දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන මෙම ආයෝජකයා පසුගියදා ධීවර අමාත්‍යාංශයේදී එම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමු වී මෙම ආයෝජන යෝජනාව පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබේ.

එහිදි කංග් මහතා ඔලුවිල් වරාය ආශ්‍රිතව නැගෙනහිර පළාත තුල මෙම කර්මාන්තශාලා ආරම්භ කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා ඔලුවිල් වරාය සංවර්ධනය කිරීම සදහා දැනටමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව වරාය සංවර්ධනය කරමින් මෙම කම්හල් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි. තවද මෙම කර්මාන්ත ශාලා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ආරම්භ කරන ලෙසද, ඒ සදහා වෙළද අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් දැඩි කැමැත්තකින් සිටින බවද ඊට අවශ්‍ය සහාය ධීවර අමාත්‍යවරයාගෙන් හා ධීවර අමාත්‍යාංශයෙන් ලැබුන හොත් තමන් බිලියන ගණනක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානම් බව කං මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, කංග් මහතාගේ කොරියාවේ පිහිටි කර්මාන්ත ශාලාවේ නියෝජිත පිරිසක්ද, ඔහුගේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ නිලධාරීවරයාද මෙම අවස්ථාව සදහා එක්ව සිට ඇත.

Visits: 52