DIMO සමාගම Mercedes-Benz EQ විද්‍යුත් මෝටර් රථ පෙළ මෙරටට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Mercedes-Benz සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO විදුලියෙන් ධාවනය වන Mercedes-Benz EQ රථ පෙළ වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙම Mercedes-Benz EQ පරාසය Mercedes-Benz EQA, EQB, EQE, EQE SUV, EQS සහ EQS SUV රථ වලින් සමන්විත වේ.

EQA යනු Mercedes-Benz EQ රථවල ප්‍රවේශ මට්ටමේ මාදිලිය වන අතර 140 kW නිමැවුමක් සහිත EQA හට කිලෝමීටර 450 ක ධාවන පරාසයක් ඇත. EQB මාදිලිය කිලෝමීටර 450 ක ධාවන පරාසයකින් යුක්තය. විද්‍යුත් නිර්මාණ ශිල්පය මත පදනම් වූ තවත් මාදිලියක් ලෙස EQE හඳුන්වා දිය හැකිය. 215 kW නිමැවුමක් සහිත EQE හට කිලෝමීටර 650 ක ධාවන පරාසයක් ඇත. EQE 4MATIC SUV රථය EQE හි ප්‍රභේදයක් වන අතර එය 215 kW නිමැවුමක් සහිතව කිලෝමීටර 500 ක ධාවන පරාසයකින් යුක්තය. Mercedes-Benz EQ හි සුඛෝපභෝගී අත්දැකීම නිර්වචනය කරමින් හඳුන්වා දී ඇති EQS, එය සතු අති නවීන තාක්‍ෂණය, සැලසුම්, ක්‍රියාකාරීත්වය සහ සම්බන්ධතාවය තුළින් රියදුරන්ට සහ මගීන්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙයි. 265 kW නිමැවුමක් සහිත EQS හට කිලෝමීටර 700 ක ධාවන පරාසයක් ඇත. EQS 4MATIC SUV සතුව 265 kW නිමැවුමක් සහ කිලෝමීටර 550 ක ධාවන පරාසයක් ඇත.

DIMO හි විධායක අධ්‍යක්ෂ සහ Mobility අංශය අධීක්‍ෂණය කරනු ලබන රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “ගෝලීය මට්ටමින් බලන විට අප සිටින්නේ විද්‍යුත්කරණ අංශයේ තීරණාත්මක සන්ධිස්ථානයකයි. Mercedes-Benz විදුලි වාහන මාදිලි හඳුන්වා දීම තුළින් DIMO මෙම විද්‍යුත් ගමන සඳහා සන්නද්ධව සිටිනවා. මෙම විදුලි වාහන සඳහා සේවා සැපයීම සහ අලුත්වැඩියා කිරීම සඳහා අප සතුව ඉහළ පුහුණුව ලත් විශේෂඥයින් සහ අති නවීන මෙවලම් පවතිනවා. තවද, DIMO විසින් Solar Grid Solutions, Home & Commercial Charging Installations ඇතුළු තවත් EV යටිතල පහසුකම් පිරිනැමීමට සූදානමින් සිටිනවා. මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු වශයෙන් රට තුළ විදුලි සංචලන කටයුතු ප්‍රවර්ධනය කිරීම තුළින් අපගේ ප්‍රජාවන්හි සිහින හා අභිලාෂයන් බලගැන්වීමට DIMO කැපවී සිටිනවා.”

EQA සහ EQB මාදිලි සඳහා වසර 8/160,000 km නිෂ්පාදන වගකීමක් ලබා දෙන අතර EQE සහ EQS මාදිලි සඳහා වසර 10/250,000 km නිෂ්පාදන වගකීමක් සපයයි. මීට අමතරව HV බැටරි, අලෙවියෙන් පසු සේවා, නොමිලේ පැය 24 පුරා මාර්ගගත උපකාරක සේවය, පරිගණකගත වාහන නඩත්තු වාර්තා සහ තවත් සේවාවන් රැසක් සපයනු ලබයි. Mercedes-Benz AG නිර්දේශ වලට අනුව සියලුම අළුත්වැඩියා කිරීම් Mercedes-Benz සඳහා වූ තාක්ෂණික විශේෂඥයින් විසින් සිදු කරනු ලබන අතර නිර්දේශිත මෘදුකාංග යාවත්කාලීන කිරීම් නිෂ්පාදකයාගේ පද්ධති හරහා සෘජුවම සිදු කරයි.

DIMO හි ගෞරවනීය හවුල්කරු වන Mercedes-Benz AG, එහි “Ambition 2039” මුලපිරීම යටතේ 2030 වන විට carbon-neutral නව මෝටර් රථ සමූහයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටියි. 2030 වන විට, Mercedes-Benz AG විසින් අලෙවි කරන මෝටර් රථවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෝලීය තිරසාරභාවයට අත්වැලක් සපයමින් විදුලි ධාවන පද්ධති වලින් සමන්විතව පැමිණෙනු ඇත.

DIMO ඉදිරිපත් කරන ලද Mercedes-Benz EQ විදුලි වාහන පරාසය මඟින් තිරසාර සංචලනයන් සඳහා සුවිශේෂී දායකත්වයක් සපයයි. DIMO විසින් මෙම වාහනවල බැටරි ආයු කාලය ඉක්මවා ගිය පසු ඒවා පරිසර හිතකාමී අයුරින් බැහැර කර නැවත අපනයනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක කර ඇත. රට තුළ ආචාරධාර්මික ව්‍යාපාරික භාවිතයන් ප්‍රවර්ධනය කරමින් සමාන සහ වටිනා අදහස් ඇති ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් රඳවා ගනිමින් සහ ආකර්ෂණය කර ගනිමින් ඔවුන්ගේ පරිපූර්ණ සංචලන සහකරු ලෙස දිගු ගමනක් යාම DIMO හි අපේක්ෂාවයි.

Visits: 144