ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු පත්කෙරේ

ශ්‍රී ලංකාවේ රන් ණය පදනම් කරගත් මූල්‍ය සේවා සමාගම් අතර ප්‍රමුඛතම සමාගමක් වන ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) සමාගමේ සන්නාම තානාපතිනිය ලෙස, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු නම්කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවක වන අතර, ඇය සතු විශිෂ්ට කුසලතා සහ නායකත්ව ගුණාංග ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ වටිනාකම් සමග මැනැවින් ගැළපෙන බව එම සමාගම පවසයි.

පසුගිය කාලය තුළ අභියෝගකාරී ආර්ථික තත්ත්වයන් හමුවේ පවා විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම සමත් විය. එම ශක්තියේ හා විශිෂ්ටත්වයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් මෙලෙස චමරි අතපත්තු සිය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීමට සමාගම පියවර ගෙන ඇති අතර, මෙය දෙපාර්ශ්වයටම සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.

එමෙන්ම මෙම හවුල්කාරීත්වය, නව්‍ය මූල්‍ය විසඳුම් හරහා කාන්තාවන් ඇතුළුව, සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමගම දරන උත්සාහයද මැනැවින් සංකේතවත් කරයි.

“චමරි අතපත්තු මෙනෙවිය ඒෂියා ඇසට් ෆිනෑන්ස් පවුල වෙත සාදරයෙන් පිළිගන්නවා. ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස ඇය අත්කරගෙන ඇති සාර්ථකත්වය සහ, ජනතාවගේ යහපත වෙනුවෙන් ඇය පෙන්නුම් කරන කැපවීම, අප අගය කරන වටිනාකම්වලට බෙහෙවින් සමීපයි. ක්‍රමයෙන් විකාශනය වන මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව ඉදිරියට යන අතරතුර, චමරි අතපත්තු සමග අප ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, ප්‍රගතිය සහ සේවා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් අප දරන ආකල්ප තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා පැවසී ය.

“දශක 5 කට වැඩි කාලයක් තිස්සේ ජනතාවට සේවය කරමින් සිටින ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. සෑම තරාතිරමකටම අයත් පුද්ගලයන්ට ඵලදායී මූල්‍ය සේවාවන් ලබාදීමට ඔවුන් දරන උත්සාහය හා කැපවීම මා සැබැවින්ම විශ්වාස කරනවා.” චමරි අතපත්තු මෙනෙවිය පැවසුවා ය.

ඉදිරියේදී ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගම තම සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සහ මූල්‍යමය වශයෙන් වගකීම්සහගත ලෙස කටයුතු කිරීමට ඔවුන් යොමුකරවීම සඳහා අලෙවිකරණ සහ ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති අතර, සමාගමේ නව සන්නාම තානාපතිනිය ලෙස චමරි අතපත්තු එම වැඩසටහන් තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරනු ඇත.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති, බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. 1970 වසරේදී රන් ණය සේවාවන් මූලික කරගෙන, තැන්පතුකරුවන්ට සහ ණය ලබාගන්නන්ට සේවය සැලසීමේ අරමුණින් එය ආරම්භ කරන ලදි.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මේ වනවිට රන් ණය, ස්ථාවර තැන්පතු, ලීසිං, උකස් සේවාවන් සහ Asia Asset Finance App (LUCKEWALLET) ඔස්සේ ලබාදෙන ඩිජිටල් මූල්‍ය සේවාවන් ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් රාශියක් පිරිනමයි. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය, ලොව පුරා රු, ට්‍රිලියන 2.54 කට අධික වත්කම් සහිත, ඉන්දියාව පදනම් කරගත් දැවැන්ත ජාත්‍යන්තර මූල්‍ය සමාගමක් වන මුතූට් ෆිනෑන්ස් (Muthoot Finance) සමාගම සතු ය.

Visits: 44